Monday, January 22, 2018

රවියයි සීයයි...








අම්බලන්ගොඩයා පහුගිය පෝස්ටුවේ නැවකට පම්පෝරි ගැහුවා ඊළඟ පොස්ට් එක විශේෂ පෝස්ට් එකක්  කියලා. ඔන්න ඒ කිව්වා වූ ආකාරයෙන්ම මේ ලියන්නේ ඒ කිව්ව විශේෂ පෝස්ට් එක තමා. හැබැයි මේ පෝස්ට් එකට උක්ත වෙන්නේ සිද්ධියක් නෙවෙයි, පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ගැන කියනවනම් කලින් බ්ලොග් පෝස්ට් ගණනාවකම ලියවුනු අපේ අසහාය මිත්‍රයෙක් ගැන තමා මේ යන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ හිතාදර, සෙනේබර , ආදරබර මිත්‍රයා වෙන රවියා ගැන තමයි මේ සුවිශේෂී පෝස්ට් එක. මේ පෝස්ට් එකට රවියා සුවිශේෂී වෙන්නේ ඇයිද කියන එක තව කියවාගෙන යනකොට තේරෙයි.

රවී ගැන ලියවෙච්ච කලින් පෝස්ට් කියෙව්වාම පාඨක සැමට තේරෙයි රවියා යනු යාලු හිතමිත්‍රාදීන්ගේ නිවෙස්වල අපිටත් වඩා තැනක් හිමිවෙලා තිබ්බ එකෙක් වග. ඒ නිසා එදා අද කියලා වෙනසක් නෑ රවියාට අපේ ගෙවල්වල හෙන ප්ලේස්. වැඩේ කියන්නේ ඌ මොන වරද කරත් ඌට තියන තැන අපිට නෑ කියල මතක් වෙද්දී ගොඩයාට නම් දැනෙන්නේ මහා කුජීත හැඟීමක්.

රවියා ජපානේ අවුරුදු ගානක් ඉඳල ඇවිත් දාගත්තනේ ස්පෙයාපාර්ට්ස් කඩයක්. ඔව් ඔව් හත්ඉලව්වේ අර ජපානේ තියන කුණු ගොඩවල් ලංකාවට ගෙනල්ල විකුණන ජාතියේ එකක් තමා. ඔය කියන රවියාගේ කඩේ විකුනන්න නැතිවුනානම් නැතිවුනේ නයයි පොළඟයි විතරයි. ඒ ඇරෙන්න ලෝකේ තියන ඕනෑම බඩුවක් භාණ්ඩයක් තියෙනවද කියල ඇහුවොත් රවියා නෙවෙයි නෑ කියන්නේ. උගේ ගාව නැති උනාට ලංකාව වටේටම කෝල් ගහලා කොහෙන් හරි ඕන කරන කෑල්ල හොයාගෙන ඌටත් ගානක් තියාගෙන විකුනන්න රවියා හෙන දක්ෂයා. අපේ සමාත් ඔතනටම සෙට් වෙලා රවියාගේ ව්‍යාපාර සම්භාන්ධීකරණ කටයුතු බාර ලේකම් වශයෙන් පාර්ට් ටයිම් රස්සාවක් කරපු නිසා බිස්නස් එක තදින්ම නැගලා යන්න ඇති කියලයි ගොඩයාගේ අනුමානය. මොකද කියනවනම් රවියා + සමා කියන්නේ ඇස් ගෙඩිදෙක මාරුකරලා දාගෙන ගිහින් හරි තමුන්ගේ මුදල උපයන්න පුළුවන් ඩයල් දෙක. ආයේ ඔය සුසංයෝගය කොයිතරං සුපිරියට ගැලපෙනවාද කියනවනම් නිකම් හරියට පිඹුරෝ දෙන්නෙක් දෙපැත්තට සෙට් වෙලා වලිග දෙක ගිලගත්තා හා සමානයි. මොකද දෙන්නම ට්‍රයි කරන්නේ අනෙකාව ගිලින්න. විසකුරු නෑ.. විෂ දල නෑ.. හැබැයි ගොදුරක් අහුවුනාම ලොකු පොඩි නෑ ගිලිනවා ගිලිනවාමයි. ඕකුන් දෙන්නගෙම තියන පොදු ලක්ෂණය තමා බෑ කියලා දෙයක් නැති වීම. කව්රුහරි කෙනෙක් යෝජනා කරනවානම් ඇමේසන් වනාන්තරේ කට්ටි කරලා විකුණමුද කියලා උන් දෙන්නා එදා හිටං ට්‍රයි කරන්නේ හතර වටේම ඉඩම් බ්‍රෝකර්ලාට කෝල් ගහලා ඇමේසන් වනාන්තරෙන් පර්චස් දහයක් හරි විකුණන්න.   


හවුල් ගනුදෙනු වලදී සමාගේ මැතමැටිකල් මොලේ  සට සට ගාලා ගණන් හදලා සමාට රවියාට වඩා කීයක් හරි වැඩියෙන් ලාභ හිටින්න ගනුදෙනුව ඇටෙව්වට රවියාගේ කට්ට කපටි කෛරාටික මොලේ සමා හිතන්නත් කලින් සමාව ලිං පඩිය උඩින් තියලා හමාරයි. සමාත් රවියාට නොදෙවැනිව ස්ථානෝචිත  අහවල් එක පාවිච්චි කරන නිසා රවියා ලිඳට තල්ලු කරන්න කලින් ගාන සාක්කුවේ දාගෙන ලිං පඩිය උඩින් මාරු වෙන්න සමා දක්ෂයි. ඔය දෙදෙනාගේ සුසංයෝගය රුපියලේ ඉඳන් ලක්ස කෝටි ගණන් දක්වා හවුල් ව්‍යාපාර කරද්දී අද සමාට රුපියලක් පාඩු උනොත් මාස හයක් හරි සමා ඒක මතක තියාගෙන ඉඳලා රුපියලට රුපියල් සීයක ලාභයක් රවියාගේ සාක්කුවෙන් අදිනවා කියන එක හෙට හිරු පායනවා වගේ සත්තයි. රවියත් ඊට දෙවැනි නෑ. අද සමා රවියාගෙන් වැඩිපුර රුපියල් සීයක් ඇද්දොත් ඒ සීය වෙනුවට සමාගෙන් නුදුරු දිනකදී  දාහක් අදින එක හෙට ඉර පායනවා වගේම සත්තයි. ඔය දෙන්නට දෙන්නා උන් දෙන්නගේ ගනුදෙනු වලදී ඔහොම උනාට පිට කෙනෙක් එක්ක බිස්නස් එකක් කරද්දී රවියා සහ සමා කියන්නේ ගහට පොත්ත වගේ සෙට් වෙලා බිස්නස් එක කරගන්න එවුන් දෙන්නෙක්.

මීට අවරුදු දෙක තුනකට කලින් ගොඩයාගේ පියාණන්ට තණකොළ කපන මැසිමක් ගන්න ඕන වෙලා ගොඩයාට  එම උවමනාව කියා හිටියත් ගොඩයා ඉන්න රටේ ඉඳන් තණකොළ කපන මැසිමක් ලංකාවට යවන මුදලින් ලංකාවෙන් තණකොළ කපන මැෂින් දෙකක් ගන්න පුළුවන් කියන එක ගොඩයා පියාණන්ට කියලා හිටං පැහැදිලිව කියා හිටියා එකක් හොයලා අරං දෙනකම් ඉවසිල්ලෙ ඉන්න කියන එක. එත් අපේ ඩඩාගේ හදිසියට ඩඩා  අපේ රවියාට එයාගේ රික්වෙස්ට් එක ඉදිරිපත් කරලා කියමුකෝ. අපේ ඩඩා සහ රවියා කියන දෙදෙනාම ගැන 'ඉස්පිල්ලේ හිටං පාපිල්ලටම ගොඩයා දන්නා නිසා ඊළඟට වෙන්න යන දේ මොකක්ද කියන එක ගොඩයා දන්නවා. ඩඩා සහ රවියා මදිවට සමාත් ඔතන මැද ඉන්න වග ගොඩයා දන්නා නිසා ඔය ආරංචිය ඇහුවාම ගොඩයාගේ ඇඟ නම් සහලෝලා ගියා කියහන්කෝ. ඒ වගේම හීනි සන්තෝෂයකුත් ඉහේ හිටං පහලට ගලාගෙන ගියා රවියාට සහ සමාට ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියනා කාරණය සහසුද්දෙන්ම ගොඩයා දන්න නිසා. තණකොළ කපන මැෂිම ඩඩාට වික්කා කියන්නේ ඔය තණකොළ කපන මැසිම අපේ ඩඩා ගාව තියෙනකල්ම රවියාට සහ සමාට ආෆ්ටර් සේල්ස් සර්විස් සහ ලයිෆ්ටයිම් වොරන්ටි දෙන්න වෙන වග ගොඩයා සහසුද්දෙන්ම දන්නවා.

ඔය ඔක්කොටම අමතරව ගොඩයා දන්නවා රවියාට ඒ ආසන්නයේ ජපානයෙන් ස්පෙයාර් පාර්ට්ස් කන්ටේනර් එකක් ආවේ නෑ කියන එක. ඒ කියන්නේ ඒ වෙද්දී රවියා ගාව තණකොළ කපන මැෂින් තියෙන්න විදිහක් නෑ. ඔය ජපන් වලින් පාවිවිච්චි කරපු ස්පෙයාර්පාර්ට්ස් ගෙන්නන උදවිය ගාව හොඳ බඩු සතියකට දෙකකට වඩා තියෙන්නේ නෑ. හොඳ කෑලි බෑලි ටික රවියා හෝල් සේල් මිලටම සිල්ලර විකුණන එවුන්ට විකුනලා කුට්ටිය පිටින් බැංකුවට දානවා උනාට ඔව්ව ඉතින් ගොඩයාගේ ඩඩා පිළිගන්නේ නෑ. මොකද ඒ වෙද්දී සමා ගොඩයාගේ පියාණන්ගේ ඔලුවට දාලා ඉවරයි රවියාගේ වෙළඳ සැලේ තණකොළ කපන මැෂින් තියෙන බව. සමා රවියාගේ පාර්ට් ටයිම් සේල්ස්මන් වග ගොඩයා, බඩ තඩියා ඇරෙන්න අනික් කව්රුවත් දන්නේත් නෑ. සමා උගේ ව්‍යාපාර කටයුතු කරගන්න අල්ලපනල්ලේ තමයි ඔය සේරෝක්කොම දේවල් කරන්නේ.

සති දෙකක් යන්න කලින් අපේ රවියා ගොඩයාගේ ඩඩාගේ පාලොස්දාහක ඇරියා කියන ආරංචිය ගොඩයා වෙත ආවත් ඒ වෙද්දී ගොඩයාගේ ඩඩා හිටියේ අලුතෙන් ගෙනාපු තණකොළ කපන මැසිම එන්ජෝයි කරන මට්ටමේ නිසා දෙන්නගෙම ආතල් කඩන්න  ගොඩයා ගියේ නෑ. එහෙම හොඳ නෑනේ හිටං.  කව්රු උනත් ආසයිනේ එහෙම දේවල් වලට. හැබැයි රවියා තණකොළ කපන මැසිම සමා අතේ එව්වා කියන ආරංචියත් ගොඩයාට ලැබුන නිසා තව නොබෝ දිනකින් තණකොළ කපන මැසිම ගැන දුරකථන ඇමතුම් රාසියක් ලැබෙන්න නියමිත වග ගොඩයා දැනගෙන හිටියා. ඒ කිව්වත් වගේ ඊට සති දෙකක් යද්දී ගොඩයාගේ ඩඩා මහ රෑ දෙකට තුනට විතර ගොඩයාගේ නින්ද කඩලා ඒ අසුභ ආරංචිය දැනුම් දුන්නා කියහන්කෝ. ඒ කියන්නේ තණකොළ කපන මැසිම  අවසන් ගමන් ගිහින්. ඕක ඔහොම වෙන විත්තිය ගොඩයා දැනගෙන හිටියත් ඩඩා පිට පාරේම රවියා සමග ගනුදෙනු කල නිසා ගොඩයා එකෙන්ම කියා හිටියා රවියා හෝ සමා අමතා පැමිණිල්ල ඉදිරිපත් කරනා ලෙස. ඒ පැමිණිල්ලට ප්‍රතිපලයක් වශයෙන් තමයි සමා ඇවිත් කැඩුන තණකොළ කපන මැසිම නැවත රැගෙන යන්නේ අලුත්වැඩියා කොට ගෙනවිත් දෙන පොරොන්දුව මත. ඔන්න ඔතැන් පටන් තත්වය සෝචනීයයි කියහන්කෝ. අපේ ඩඩාට තණකොළ කපන මැසිමත් නෑ පාලොස්දාහත් නෑ. ඒ මදිවට රවියා සහ සමා ඩඩාගේ කෝල් වලට ආන්සරුත් නෑ. ගොඩයාටත් ඉතින් සතියකට වරක් වගේ ඩඩාගේ දුක්ගැනවිල්ල ලැබෙනවා උනාට ගොඩයා වැඩේට මුනිවත රැක්කේ රවියා සහ සමා ගැන ඩඩාට වඩා යාවත්කාලීන දැනුමක් ගොඩයා වෙත තිබ්බ නිසා. ගොඩයාගේ ඩඩා විශ්‍රාම සුවයෙන් ඉන්න මනුස්සයා නිසා ඔහොම වේදනා දෙන්න හොඳද යකුනේ කියලා අහන්න ඕනවුනත් ගොඩයා ඔය පණිවිඩේ දෙන්න ඉන්ටර්නැෂනල් කෝල් එකකට වියදම් නොකරේ ඒක කිසිම තේරුමක් නැති වැඩක් වග ටක්කෙටම දන්නා නිසා. රවියා සහ සමා ඔය කියන තණකොළ කපන මැසිම කොහෙන්හරි උස්සන් ඇවිත් අපේ ඩඩාට වික්කා කියන සාධාරණ සැකය ගොඩයාගේ හිතේ තිබ්බ නිසා ගොඩයා වැඩි කලබලයක් කරන්න ගියේ නෑ. මොකද උන්ටත් ඕක ගෙනාපු තැනට ආපහු ගෙනිහුන් දීල හරි ඕක හදවන්න කාලයක් දෙන්න ඕනනේ. ඊටත් වඩා ගොඩයාට තිබ්බ ආතල් කෝටියක් සපයන කාරනාව නම් රවියා සහ සමාගේ ජංගම දුරකථන වලට නිවී සැනසිල්ලේ හුස්මක් ගන්නට අපේ ඩඩා ඉඩක් නොදෙන බව දැනෙනා හැඟීම. තණකොළ කපන මැසිම අලුත්වැඩියා කොට නැවත ගෙනවිත් දෙනතුරු හෝ රුපියල් පාලොස්දාහා නැවත ලබාදෙනතුරු අපේ ඩඩා රවියාටත් සමාටත් දවසට කෝල් විස්සක් තිහක් දෙනවා කියන එක ගැන හිතද්දී අදත් ගොඩයාට දන්නෙන්නේ මල් මසුරන් සන්තෝසයක්. 

ඔය විදිහට ටික දවසක් යද්දී ඔන්න සමා අපේ ඩඩාගේ තණකොළ කපන මැසිම අලුත්වැඩියා කර නැවත භාර දෙනවා. ඒ එක්කම අපේ ඩඩා ගොඩයාට නැවත පැමිණිලි කරනවා මැසිමේ තලය වෙනස්කර තිබේ කියනා කාරණය. ගොඩයාට ඉතින් ඊටත් එහා මල් මසුරන් ආතල් එකක් තවත් කොයින්ද දෙයියෝ. ඒ මොකද කියනවනම් මැසිම හදලා ගෙනත් දුන්නත් සමාට සහ රවියාට ඩඩාගේ චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ කියන සිතුවිල්ල සහ ඩඩාගෙන් නැවතත් රවියාට සහ සමාට යන දුරකථන ඇමතුම් සමූහය ගැන හිතද්දී මේ දැනුත් ආතල්. අපේ ඩඩා ඒ තරම් ඔය යන්ත්‍ර උපකරණ ගැන දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි නිසා රවියා ඩඩාට නැවත එව්වේ කලින් දුන් තණකොළ කපන මැසිම නොව වෙනත් එකක් වග ආයේ අමුතුවෙන් ගොඩයාට කියන්න දෙයක් නෑ. ඒත් ගොඩයා කවදාවත් මිතුරා පාවා නොදෙනා ගනයේ එකා නිසා ඒ වගක් ඩඩාට කියන්න ගොඩයා ඉදිරිපත් වෙන්නේ නෑ. මුකුත්ම නොලැබෙනවාට වඩා මොකක් හරි මැසිමක් ආයේ ලැබුන එකම මදැයි කියන සිතුවිල්ල ඊට වඩා බලවත් මුන් දෙන්නා එක්ක බිස්නස් කරලා. වැඩේ එතනින් ඉවරයි කියලා හිතුවට එතනින් ඉවර නෑ. ආයෙත් අර ගෙනාපු මැසිමත් සති දෙක තුනකින් අවසන් ගමන් ගියා කියන ආරංචිය ආයෙත් ඩඩා විසින් ගොඩයාට කියා හිටිනවා. දුරකථන ඇමතුම පැමිණෙන්නේ රෑ දෙගොඩ හරියේ උනාට ගොඩයාට බඩ පැලෙන්නේ හිනා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ආයෙමත් රවියා සහ සමා ඇදගෙන නෑවා කියන සුභ ආරංචියට. 

ඔය තණකොළ කපන මැසිම ගැන විස්තරේ දිගටම ලියන්න ගියොත් මේ බ්ලොග් පෝස්ට් එක සෑහෙන දිග වෙන නිසා තණකොළ කපන මැසිම ගැන විස්තරේ සාරාංශය අවසානයේ මෙන්න මේකයි. ඔය කිව්ව තණකොළ කපන මැසිම ගොඩයාගේ නිවසටත් රවියාගේ වෙළඳසැලටත් සමාගේ ස්කූටියෙන් ගිය වාර ගණන ගණන් කරන්න බැරුව ඇති මයේ හිතේ. ලෝකයේ වැඩිම වාර ගණනක් ස්කූටියක ගමන් කරන ලද තණකොළ කපන මැසිම කුමක්ද කියල ඇහුවොත් ගොඩයාට හෙන ආඩම්බරයක් දැනෙනවා ඒ ජයග්‍රාහී තණකොළ කපන මැසිමේ හිමිකාරයා ගොඩයාගේ ඩඩා නිසා.


 හැබැයි තණකොළ කපන මැසිම වැඩි කාලයක් තිබ්බන් තිබ්බේ රවියා භාරයේ. ඒකට තවත් හේතුවක් තිබ්බ. රවියාගේ ඥාති අයියා කෙනෙක් තණකොළ කපන බිස්නස් එකක් කරගෙන ගියේ රවියාගේ පූර්ණ අනුග්‍රහයෙන්. ඔය ව්‍යාපාරයට යන්ත්‍ර සූත්‍ර කුලියට දුන්නේ අපේ රවියා. රවියා තකහනියේම ඇවිත් අපේ ඩඩාගේ තණකොළ කපන මැසිම සර්විස් කරන්න අරං ගියා කියන ආරංචිය ඇහුවාම ගොඩයාට තැන නොතැන නැතුව බඩ පැලෙන්න හිනා. ඩඩා හිතන්නේ රවියාගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක සහ හිතේ තියෙන හිතවත්කමට එහෙම කරනවා කියලා උනත් ගොඩයා දන්නවා රවියට අපේ ඩඩාගේ මැසිමට සත්ව කරුණාව පහල වෙන්නේ තණකොළ කපන ඥාතියාගේ මැසිම සෙත්තපෝච්චි උන දවසට කියල. ඒත් ගොඩයා ඔව්ව ඩඩාට කියන්න යන්නේ නෑ. ඩඩාගේ සහ රවියාගේ අතර තිබෙන අකලංක විශ්වාසය බිඳ දමා දුෂ්ටයා වෙන්න ගොඩයාට ඕන නෑ. එක පැත්තෙන් ඩඩා.. අනික් පැත්තෙන් මිත්‍රයා.. මැදින් සමා... ඉතින් කොහොමෙයි යකඩෝ හිතක් පපුවක් තියෙන එකෙක් විදිහට ඔය තුන්කොන් ප්‍රේමය මැදට පැනලා පවු සිද්දකරගන්නේ.


ප්‍රේමය එහෙම උනාට රවියා සහ සමා ඔය තණකොළ කපන මැසිම නිසා දුරකතනයෙන් අහපු කුණු කතා ලියන්න පොතකුත් මදි ඇති ගොඩයා දන්නා තරමට. ගොඩයාගේ ඩඩා තණකොළ කපන මැසිම වෙනුවෙන් වියදම් කරපු දුරකථන ඇමතුම් වල මුදල් වෙනම එකතු කරානම් තණකොළ කපන්න තව මැෂින් දෙක තුනක් ගන්න තිබ්බ . දැන් වෙද්දී නම් තණකොළ කපන මැසිම ටික කාලෙකින් ආපහු රවියාගේ ගෙදර ගියේ නෑ දන්නා තරමින්. හැබැයි අවසන් වතාවේ රවියලාගේ ගෙදර ගිහින් එද්දී තණකොළ කපන මැසිම ආපහු ඇවිත් තිබ්බේ සෑහෙන්න වෙනස් වෙලා .  මේ ගමන ලංකාවට ගිය වෙලේ මහ ගෙදර පිටිපස්සේ පරෙස්සමට එල්ලලා තියන තණකොළ කපන මැසිම දැකලා ගොඩයාට බඩ පැලෙන්න හිනා. කලින් තිබ්බ හෙලිකොප්ටර් පෙත්ත වගේ තල දෙකක් තියන තලය වෙනුවට දැන් ඒකෙ තියෙන්නේ කඳන් ඉරන දැති රෝදයක්. ඒකෙත් ඉතින් දැති තිබ්බනම් ඒත් කමක් නෑ කියමුකෝ.. ඒකත් දැත්තක් හොයාගන්න නැති තරමට ගෙවිච්ච මල කාපු රෝදයක්. මිදුලේ තියන තණකොළ ටික කපාගන්න ගතපු මැසිමට ලී ඉරන දැති රෝදයක් හයිකරලා එවන්න ඇත්තේ වත්තේ තියන පොල් ගස් ටිකක්ත් ඔය එක්කම කපාගන්න වෙන්ටෑ කියල හිතලා ගොඩයා නිකං උන්න. ඔන්න ඔහොමයි අපේ රවියා. 

රවියා ගැන ලියන්නගත්තට ඔය තණකොළ කපන මැසිමේ කතාව බෝනස් එකක් විදිහට ලියවුනු එකක්. මොකද කියනවනම් ලියන්න ගියේ වෙනත් කතාවක්. අපේ තඩියා විසින් යෝජනාකොට සම්මත කරපු සිද්දිය තමා ඊළඟට ලියන්නේ. 

රවියා ඒ ලෙවල් කරලා ඉවරවෙලා කොළඹට උනායින් පස්සේ රවියා යනු කලාතුරකින් දකින්න පුළුවන් වෙච්ච ඩයල් එකක්. ඒත් මෙන්න බොලේ රවියා එකපාරටම මතුවෙනවා අම්බලන්ගොඩට කාටවත් නොදන්වාම. එදා රවියා ඇවිත් හිටියේ ටොයෝටා හයිඒස් හයිරූෆ් ඩොල්ෆින් වෑන් එකකින්. අප්පද බොල අපේ එවුන්ට ඉතින් ඊට වැඩිය දෙයක් කොයින්ද කියහන්කෝ. බඩතඩි එකා ඉස්සරහ සීට් එක පස්සපැත්තේ අලවගත්තා හා සමානයි. උදේ වරුවක ඔය කියන වෑන් එකෙන් අම්බලන්ගොඩට ප්‍රාදුර්භූත උන රවියා කට්ටියටම පුංචි ආතල් එකක් දීල ආපහු හවස් වෙද්දී කොළඹ ගියා කියමුකෝ. ඔන්න බොලේ වැඩේ පත්තු වෙන්නේ එදාම රෑ වෙද්දී.

එදා රෑ වෙද්දී යාලු මිත්‍ර හැම එකාගෙම ගෙවල් වලට දුරකථන ඇමතුම් පැමිණෙනවා රවියා ගැන විමසමින්. කෝල් එන්නේ රවියාගේ වැඩිහිටි සහෝදරයන්ගෙන්. බැලින්නම් රවියා අතුරුදහන්ලු. දැන් කාපන්කෝ පරිප්පු කිව්වලු. ඒත් වැඩේ කියන්නේ රවියා අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ එවුන්ව බේරලා. අම්බලන්ගොඩ ඉඳන් කොළඹ යද්දී අපේ රවියා අර ගෙනාපු වෑන් එකේ ඉස්සර වම්පැත්තේ මුල්ල ඇනලා කියහන්කෝ ඉස්සරහින් ගිය වාහනේක. දුකේ බෑ වෑන් එක කුඩේ කුඩුලු. වැඩේ කියන්නේ රවියට මුකුත් තුවාල සිද්ද වෙලා නෑ. ඒත් අපේ රවියා ඔය කියන වෑන් එක අරං ඇවිත් තියෙන්නේ ඒකෙ අයිතිකාරයා වෙච්චි රවියාගේ පොඩි අයියාට හොරෙන් කියහන්කෝ. වෑන් එක කුඩු වෙන්න වැදිච්ච හිතේ අමාරුවට රවියා අතුරුදහන් කියමුකෝ. හැබැයි රවියා අතුරුදහන් වෙලා තියෙන්නේ වෑන් එක පොඩි අයියාගේම යාලුවෙකුගේ ගෙදර ගාල් කරලා අවසානයේයි. ඒ කියන්නේ රවියා ගෙදරින් පැනලා ගිහින්. අන්තිම කෝල් එකෙන් කියවුනේ වෑන් එක හදන්න සල්ලි හොයාගෙන එනතුරු ආයේ ගෙදර එන්නේ නෑ කියන එකලු. ඉන් පස්සෙ ඉතින් කට්ටියම රවියා සොයා රට පුරා සෝදිසි මෙහෙයුම් කියහන්කෝ. ගෙවල් වලට කෝල් එනවා ඉවරයක් නෑ. ඒ මදිවට සෙට් එක එකතු වෙලා පැය ගණන් අනුමාන ගැන කතා වෙනවා රවියා අරෙහෙ ඇති මෙහේ ඇති ඒත් ආරංචි කරලා බැලුවාම ඒ කොහෙවත් රවියා නෑ. ඔන්න ඔය විදිහට මාසයක් විතර ගතවුනා කියමුකෝ. රවියාගේ මෑණියන් ඇතුළු වැඩිමහල් සහෝදරයින් රවියා සොයා රට පුරා ඇවිදිනවා, බෝධි පූජා තියෙනවා , සාස්තර අහනවා, අංජනම් බලනවා ඉවරයක් නෑ ඒත් රවියා නෑ. ඒ සෙල්ලම් වලට වියදම් කරපු සල්ලි වලින් ඇත්තටම අර හැපිච්ච වෑන් එකට අලුතෙන් මුණක් ගෙනත් තියන්න තිබ්බ යකොඩෝ.


ඊළඟට මොකද උනේ කියල ලියන්න කලින් දැන් ගොඩයා පොඩි සටහනක් තබන්නේ ඇයි මේ පෝස්ට් එක සුවිශේෂී උනේ සහ ඇයි ගොඩයා මේක රවියා ගැනම ලිව්වේ කියන එක ගැන කියන්නයි.  මේ තමා අම්බලන්ගොඩ කතා බ්ලොගයේ ලියවෙන සියවෙනි බ්ලොග් පෝස්ටුව. බ්ලොග් පොස්ට් සීයක් ලියන්න ගොඩයාට දින 1159 ක් ගතවෙලා තියෙනව. වෙනත් විදිහකින් කියනවනම් අවුරුදු තුනක් , මාස දෙකක් සහ  දින දෙකක් ගතවෙලා තියෙනව. ඒ තමා පලවෙනි පොස්ට්ටුව සහ මේ සියවෙනි පෝස්ටුව අතර කාලය. එතකොට ඇයි රවියා ගැනම සියවෙනි පෝස්ටුව ලිව්වේ කියන එකට හේතුව වෙන්නේ පලවෙනි පෝස්ටුවත් රවියා ගැනම ලියවෙච්ච එකක් නිසා. රවියාගේ පැරිෂුට් පිම්ම පෝස්ටුව ගොඩයා පලවෙනි වතාවට ලිව්වේ එළකිරි වෙබ් අඩවියට ලියපු  පොස්ටුවක් විදිහට. සඳරු ලියපු "හිස් අහස" බ්ලොග් අඩවිය කියවලා බ්ලොග් එකක් කිරීමේ අසාවට තමයි අම්බලන්ගොඩයා ගූගල් දෙවියන්ගෙන් පාර අහගෙන බ්ලොග්කරණයට අත්පොත් තියන්නේ. වැඩේ සෑහෙන්න එක්සයිටින් නිසා එලකිරියට ලියපු පෝස්ටුවම කොපි පේස්ට් කරලා ගොඩයා අම්බලන්ගොඩ කතා පටන් ගත්තට ඔය කියන පොස්ට් එකට පලවෙනි කොමෙන්ට් එක වැටෙන්නේ බ්ලොග් අඩවිය හදලා දින 880 කට පස්සේ. ඒ කියන්නේ අවුරුදු දෙකයි මාස හතරයි දවස් විසි හතකට පස්සේ.  ඒත් අම්බලන්ගොඩ කතා වෙත පලවෙනි කොමෙන්ටුව ලියන්නේ 2014/11/27 දින අපේ මාතලන් ලොක්කා. එතැන් පටන් අද වෙද්දී අම්බලන්ගොඩ කතා වෙත කමෙන්ට් 4561 ක් වැටිලා තියෙනව. ඒ එක්කම 267167 වාරයක් අම්බලන්ගොඩ කතා වෙත පාඨකයන් පැමිණිලා තියෙනව. එතෙක් මෙතෙක් බ්ලොග් පොස්ට් සීයක් දිගේ කොමෙන්ට් කරගෙන තල්ලුව දීගෙන පැමිණි අම්බලන්ගොඩ කතා පාඨක සැමට අම්බන්ගොඩයා මේ වෙලාවේ තමුන්ගේ හර්දයාංගම භාවය පළකරන්නේ බොහොම හැඟීම්බරව. ඒ එක්කම අම්බලන්ගොඩ කතා මිනිස්සු අතරට ගෙනියන්න මුල් වෙච්ච බ්ලොග් සින්ඩි සියල්ලටම ගොඩයා මේ වෙලාවේ බොක්කෙන්ම ස්තුතිය පුදකරනවා. එයාල නැත්තම් අම්බලන්ගොඩ කතා මේ තරම් ප්‍රසිද්ද වෙන්නේ නෑ. ඒ වගේම මේ පොස්ට් සියයක ගමනේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුත්තේ ඒ හිස් අහස ලියන චින්තක සඳරුවන් නම් ඒ  අසහාය බ්ලොග් කරුවාට. ගොඩයා එහෙම කියන්න හේතුව  හිස් අහසට ඇබ්බැහිවීමත් එක්ක ඇතිවෙන ආසාවක් විදිහට අම්බලන්ගොඩ කතා බිහිවෙච්ච නිසා. ඒ නිසා බ්ලොග් පිටු සියයක ගමනේ සම ගෞරවය හිස් අහසේ සඳරුටත්, බ්ලොග් සින්ඩි වලටත්, කමෙන්ට් මගින් දිරිය දුන් සැමටත්, මේ ලියවෙන සිද්දි දාමයන්ට ප්‍රස්තුත සැපයු ගොඩයා හිතාදර මිතුරු කැලටත් සම සමව හිමිවිය යුතුයි කියලයි ගොඩයාගේ අදහස. ඔන්න එහෙනම් දින 1159 ක් දිගේ ආපු ගමනට සහයෝගය දැක්වූ හැමදෙනාටම ස්තුතියි..ස්තුතියි...ස්තුතියි... 



ඊළඟට රවියාගේ කතාවේ ඉතුරු ටික..

දැන් රවියා අතුරුදහන් කියහන්කෝ මාසයක් විතර. ලංකාව වටේම ඉන්න සාස්තර කාරයෝ, බලිතොවිල් කාරයෝ, අංජනම් කාරයෝ දන්නා කියන වැඩ ඔක්කොම දාලා හෙව්වත් රවියා ඉන්න තැනක ආරංචියක් නෑ කියහන්කෝ. රවියාගේ ගෙදර උදවිය ලාවට වගේ සැක කලත් මූ ගඟක මුහුදකවත් පැන්නාදෝ කියලා යාලු හිතමිත්‍රාදීන් නම් එහෙම දෙයක් විශ්වාස කරේ නෑ. මොකද රවියා යනු ගල් පලන් මද කන්න පුළුවන් එකා නිසා ඌ ගඟක මුහුදක පැනලා ජීවිතේ නැති කරගන්න තරම් ගොන් වස්සෙක් නොවෙනා වග යාලුවෝ නම් විශ්වාස කළා. උපතින්ම හුරතල් පෙනුමක් හිමි රවියා ඉන්නා තැනක හොඳින් තුන්වේල කොටාබා ඉන්නවා ඇති කියන හැගීම යාලුහිතමිත්‍රාදීන් වෙත තිබ්බේ රවියා යනු ගිය තැන වසවර්ති මාරයාගේ උනත් බත් පතට විදින්න පුළුවන් හුරතල් පෙනුමක් තියෙන එකා නිසා. අපායට ගියත් යම රාජ්ජ්රුවෝ උනත් කද්දී බොද්දි අනිවා අපේ රවියාගෙන් අහනවා උඹ කාලද මචං කියල. ඒ තරම් ලැබීමක් තිබ්බ එකෙක් කොතන හිටියත් හොඳින් ඉන්නවා කියන තදබල හැඟීම සෙට් එකේ කා ගාවත් තිබ්බ.

ඔන්න ඔය විදිහට කාලයක් යද්දී තමා රවියාගේ ලොකු අක්කාට රවියා ඉන්න තැන හරියටම ආරංචි වෙන්නේ. ආරංචිය ලැබුන ගමන් වාහනයක් අරං ඉගිලෙන රවියාගේ ලොකු අක්කා එතනට යද්දී අපේ රවියා තඩි සිමෙන්ති ලොරියකින් සිමෙන්ති බානවාලු කියහන්කෝ. ඉතින් බලහන් මෙව්වා කටක් ඇරලා ලෝකයාට කියන්න පුළුවන් කතාන්දරද කියලා. පවුලේ මිනිස්සුන්ට තියා යාළුවො වෙච්චි අපිටවත් පාරේ බැහැලා යන්න බැරි තරම් හතර විලි ලැජ්ජයි නැද්ද හා.  ලොකු අක්කා වාහනේ බැහැපු ගමන් දුන්නලු අපේ රවියගේ කණ කුඩු වෙන්න කනේ පාරක්. වැදිච්ච පාරේ සැරටද කොහේ රවියාගේ කරේ තිබ්බ සිමෙන්ති කෝට්ටේ හුචස් ගාල බිම වැටිලා දෙකට පැලුනාලු. කොහොමින් කොහොමහරි අසූහාරදාහට මල පැනලා හිටපු රවියාගේ ලොකු අක්කා රවියාට නෙලපු නෙලිල්ලෙන් අපේ එකාව බේරාගෙන තියෙන්නේ අහල පහල හිටපු නාටාමිලා ඉදිරිපත් වෙලා. ඇයි යකඩෝ කෝටිපති සහෝදරයෝ හත් දෙනෙක් ඉන්න පවුලක බඩපිස්සා වෙච්චි මේ ගොන් නාම්බා හාර්ඩ්වෙයාර් එකක සිමෙන්ති බානවා දැක්කාම මූව එතනම නොමරුවා ඇති. ඒ වගේද ඒ මිනිස්සු උහුලපු ගින්දර මූව ඇහැට දකිනකම්. දැහැමෙන් සෙමෙන් උපයාගෙන දෙයියනේ කියලා තුන් වේල කාලා යාන වාහන ගේ දොර ඉඩකඩම් මදි නොකියන්න තියන පවුලක මිනිස්සුන්ට එහෙම ගින්දර දෙන්නේ ඒ මිනිස්සුන්ට ප්‍රශ්න නැති නිසාද. වාහනේ හැප්පුනානම් ඒක අයියට කියල සෙන්ටිමෙන්ටල් කරගන්න තිබ්බනේ. මොකෝ ඒ වෙද්දීත් ඒ ගෙදර වාහන විස්සක් තිහක් තිබ්බ ගෙදරක්නේ. එකක් හැප්පුනා කිව්වට මොකෝ මූව මරන්නේ නැහැනේ. ඕකට ඉතින් මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ වගේ ගෙදරින් පැනලා යන්න ඕනෙද හත් ඉලව්වේ. කොහොමද අපේ එකාට ජින්නා වගේ එකෙක් සෙට් උනානම් එහෙම. එහෙනම් ඉතින් මූ හොයාගන්න වෙන්නේ මැඩගස්කර්වලින් හරි ඇමේසන් වලින් හරි තමා. 

ඒ කරුණු කාරනා කොහොම වෙතත් මූ මගේ මල්ලි කෙනෙක් උනානම් මං ඕකාට ගහන්නේ ගහක බැඳලා. ඇයි යකෝ වාහනේ හෝදන්න කියලා මිදුලෙන් එහාට දාන්න වාහනේ ස්ටාර්ට් කරපු එකා කිරිබත්ගොඩ ඉඳලා අම්බලන්ගොඩ යාවි කියලා කව්ද හත් ඉලව්වෙන් හිතන්නේ. ඒ මදිවට ඩ්‍රයිවින් ලයිසන් එකකුත් නැතුව. කොහොමින් කොහොම හරි අපේ එකාගේ පැනලා යාමෙන් උනේ ගෙදර මිනිස්සුට වාහන දහයක් හදන මුදල් වියදම් වීමත් නිස්කාරනේ ගින්දර උහුලන්න සිද්ද වීමත් විතරයි. සිමෙන්ති ගොඩේ පෙරලගෙන ගුටි ඇනපු අපේ එකාව බෙල්ලෙන් අල්ලලා වාහනේට දාගන්න කලින් හාර්ඩ්වෙයාර් එකේ මුදලාලි දුවගෙන ඇවිත් අපේ රවීගේ අක්කාගෙන් මූ බිමදාපු සිමෙන්ති කෝට්ටේ අලාබෙත් අයකරගත්තළු. මං හිටියනම් ආයේ වාහනෙන් බස්සලා සිමෙන්ති ගොඩේ හොම්බ උලලා පයින් දෙකක් අනිනවා ආයේ ගොන් වැඩ නොකරන්න.

දැන් වෙද්දී රවියා දෙදරු පියෙක් වගේම ව්‍යාපාර ගානක අයිතිකාරයෙක්. ඒ උනාට ඉතින් විශ්වාස කල නොහැකි භාවය කොයිතරම්ද කියනවනම් ගොඩයා මේ වතාවේ ලංකාවට ගිහින් එද්දී රවියා ගොඩයා බලන්න ගෙදරටම ඇවිත් ගියා සුරාමේරය සහ අවශ්‍ය කරන  බයිට් ජාතිත් අරගෙනම. ඒ යන වෙලාවේ ගොඩයා රවියට කිව්වා යන එන වෙලාවක උඹේ වාහනේ අපේ ගෙදර දාලා මගේ වාහනේ අරං ගිහින් සර්විස් කරලා ගෙනත් දාපන්ය කියන කාරණය. ඒකට හේතුව රවියාගේ ව්‍යාපාර ලැයිස්තුව ඇතුලේ වාහන සර්විස් කරන ආයතනයකුත් ගජරාමෙට පවත්වාගෙන යන නිසා. ඒ වගේම රවියා දවස ගත කරන්නේ ඔය කියන සර්විස් ස්ටේෂන් එකේ කියලා ගොඩයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ගොඩයාගේ ගෙදර පහු කරගෙන උදේට ව්‍යාපාර ස්ථානයට යන එකේ ගොඩයාගේ වාහනේ අරං ගිය කියල පැත්තක් යන්නේ නෑනේ. අපේ එකා කවදාවත් බෑ නොකියන සතා නිසා කට පුරා හා කියලා ගියා ගියාමයි. දැන් මාස දෙකකටත් වැඩියි ගොඩයාගේ වාහනේ තාම එතන රවියා එනකං බලන් ඉන්නවා සර්විස් කරන්න යන්න. කොච්චර යාලුවා උනත් ගොඩයා යාලුවන්ගෙන් නිකං වැඩ ගන්න එකා නෙවෙයි. නිකං යන එන ගමනේ බොඩි වොෂ් එකක් දැම්මත් ගොඩයා රවීගේ සර්විස් එකට සල්ලි දීලයි වාහනේ අරං එන්නේ. රවියා සහසුද්දෙන්ම දන්නවා වාහනේ සර්විස් කරාට මුදල් නොදී ඉන්නේ නැති වග. ඒ එක්කම රවියා මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒත් ඉතින් කිව්වට දෙයක් කරවගන්නත් බෑ. ඉබ්බාගෙන් පිහාටු ගණන්වා ඊට ලේසියි. දැන් මේ පෝස්ට් එක රවියා කියවනවා කියලා ගොඩයා දන්නවා. ඒ නිසා රවියාට පණිවුඩයක් තියලාම ගොඩයා සියවෙනි පෝස්ටුව අවසන් කරනවා. මොකද තණකොළ කපන මැසිම නිසා ගොඩයාගේ ගෙදරින්  දුරකථන ඇමතුම් එද්දී රවියා තාමත් ජංගමය ආන්සර් කරන්නේ නෑ. ඒ එක්කම තණකොළ කපන බිස්නස් එක කරන ඥාතියාගේ මැසිම කැඩුන දවසට රවියට අපේ ඩඩාගේ මැසිම ආයේ සර්විස් කරන්න අරං යන්න ඕන වෙන්නේත් නෑ. මොකද රවියා දන්නවා අන්තිම වතාවේ ඒකට හයිකරලා එව්වේ කඳන් ඉරන දැති රෝදයක්ය කියන එක වගේම එකේ දැතිත් එකකට දෙකකට වඩා නැති වගත්. මෙහේ හිටං කෝල් දුන්නට වැඩකුත් නෑ ඌ නෙවෙයි ඉතින් ඔව්වට ආන්සර් කරන්නේ.. කාගේ හරි දුරකථන අංකයක් , වැඩක් කරගන්න ඕනෑකමක් වගේ දෙයක් ඕන උන ගමන් රවියා ගොඩයාගේ නින්ද කඩනවා කියල ගොඩයා දන්නවා.. ඒ කෝල් එක එනකං තමා මේ ගොඩයා බලාන ඉන්නේ. එතකම් මේ පණිවුඩය ඒ ආසහාය මිත්‍රයාට..

හිතාදර රවී... උඹට අමතන්න කටට එන ආදරණීය වචන මේකේ ලියන්න බෑ.. මොකද මේක පොඩි දරුවෝ කියවනවානේ... අර කාර් එක අරං ගිහින් සර්විස් කරලා ගෙනත් දාපන් බූරුවෝ පොරොන්දු උනානම් .. 

(බූරුවෝ කිව්වට සමාවෙයන්.. මොකද උඹට අමතන්න කටට එන වචන සෙට් එකේ තියන වචන වලින් ටිකක් හරි සභ්‍ය වචනේ ඕක විතරයි.)

Sunday, January 7, 2018

එහා ගෙදර ඩයින කොටේ 1





ගොඩයා ගිය අවුරුද්දට බස් ගැන පොස්ට් දෙකක්දෝ කොහේ  ලිව්වා උනත් බස් කියන්නේ ලියලා ඉවර කරන්න බැරි කතාන්දර ගොඩාරියක් තියෙන සබ්ජෙක්ට් එකක්. ගොඩයා ලියන බස් පොස්ට් එකක් කියවලා " බස් කතා ගානක් මතක් උනා මචං අද හෙටම ලියන්න ඕන " කියලා කියන බ්ලොග් පාඨකයින් අතරේ අංක එක ස්ථානයේ ඉන්නේ අපේ "කල්‍යානමිත්‍ර" බ්ලොග් අඩවිය ලියන කමියා තමයි.  ඒ උනාට උන්දෑ ආන් අරෙහෙ බුකියට වෙලා විරහ ගී කෑලි බුකියේ බිත්තියේ ලිය ලියා ඉන්නවා ඇරෙන්න බ්ලොග් පෝස්ට් එකක් ගැනනම් මෙලෝ උනන්දුවක් නෑ. ඒ හින්ද පුල පුලා බලා සිටියට කමියාගේ බස් කතා කියවන්න වෙන්නේ ඉතින් ඊළඟ කල්පයේ තමා. ඒ උනාට කමියාගේ මතකයේ හුඟක් බස් රසකතා තියෙන්න ඕන කියලා ගොඩයා උපකල්පනය කරන්නේ එක්තරා හේතුවක් නිසා. ඒ තමා කමියාගේ රස්සාව, පරස්තාව, පදිංචිය තිබිලා තියෙන්නේ " දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ, රාල මීගමුවේ, මුවෙක් විද්දයි සබරගමුවේ" කියන  තියරියට නිසා. ඔය ආකාරයෙන් උතුර දකුණ මධ්‍යම කඳුකරය යාකරපු කරාපු කමියා  සෑහෙන්න බස්වල කට්ට කාපු එකෙක් වෙන්න ඕන කියල ගොඩයා හිතන  නිසා කමියගේ  මෙමරියේ  බස් කතා  ගානක් ඇති කියලයි ගොඩයාගේ උපකල්පනය. කමියා ගැන ඕනවට වඩා ආලවට්ටම් ලියන්න ගිහින් කමියා උදහස් උනොත් කියලා හිතෙන නිසා කමියා ගැන එච්චරයි. බලමුකෝ මේක දැක්කාමවත් කමියා බස් කතා ලියාවිද කියල.

ගොඩයාට බස් හීනයක් තිබ්බේ අද ඊයෙක හිටං නෙවෙයි. ඒක ඇවිල්ලා චිරාත් කාලයක් තිස්සේ ගොඩයාගේ හදවතේ කැකෑරිච්චි ආසාවක්. එත් දැන් වෙද්දීනම් ඒ බස් සිහිනය සැබෑ කරන්න බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ මොකද කියනවනම් දැන් ගොඩයා සිරිලංකාවේ ව්‍යාපාර කරන අදහසින් බැහැර වෙලා ඉන්න නිසා. ඒත් මීට අවුරුදු දහයකට දොළහකට කලින් නම් ගොඩයාගේ බස් උණ තිබ්බේ උණසන්නිපාතය වෙන්න ඔන්න මෙන්න. ඒ වෙද්දීත් රැකියාවටත්, කරගෙන ගිය ව්‍යාපාරයටත් අමතරව, ට්‍රාන්සපෝර්ට් ව්‍යාපාරයකුත් සුළුවෙන් කරගෙන ගිය නිසා ගොඩයාගේ සිහිනය උනේ බස් ව්‍යාපාරයට අතගහන්න. 

ඔන්න ඔය විදිහට බස් ගැන වටේම ඉවකරමින් ඉන්නා අතරේ තමයි ගොඩයාට ආරංචියක් එන්නේ දන්නා කියන මුදලාලි කෙනෙකුගේ බස් පර්මිට් එකක් විකුනනවා කියන කාරණය. මුදලාලිගේ බස් එකක වැඩකරපු ගොඩයාගේ අසල්වැසි මිත්‍රයෙකුගෙන් තමයි ගොඩයාට පණිවුඩය ලබෙන්නෙ. ඔය කියන මුදලාලි ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් වගේම ගොඩයා පුද්ගලිකව දන්නා කෙනෙක් කියමුකෝ. ඒක එහෙම වෙන්න පලවෙනි හේතුව තමා මුදලාලිගේ එක් ව්‍යාපාර අංශයකට අදාළ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව සඳහා ලංකාවේ සිටින විදෙස්  පුහුණුවලත් කාර්මිකයින් කිහිපදෙනාගෙන් ගොඩයා එකෙක් වීම නිසා.

මුදලාලිගේ ව්‍යාපාරයේ තිබ්බ යන්ත්‍ර සූත්‍ර මාස දෙක තුනකට සැරයක් රෝගාතුර උනාම මුදලාලි කුකුලා මල්ලේ දමාගෙන දුවගෙන එන්නේ ගොඩයාව හොයාගෙන. මුදලාලි එන්නෙත් පොලී මුදලාලි ණයකාරයා  අල්ලන්න එන තියරියම අනුගමනය කරගෙන නිසා ගොඩයාට බොරුවක් කියලා මාරුවෙන්න හෝ හැංගෙන්න තියෙන චෑන්ස් එක අඩුයි. දැන් මේක කියවන උදවියට නැගෙන ප්‍රශ්නයක් තමයි ඇයි මුදලාලි එද්දී ගොඩයා හැංගෙන්න උත්සහ කරන්නේ කියන එක. ඒකට පලවෙනි සහ අවසාන හේතුව සරලවම කියනවනම් ඔය කියන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරද්දී දාන අමතර කොටස් මුදලාලි මලාට අලුතෙන් නොදාන නිසා. අවශ්‍ය අමතර කොටස් නොදා කොහොමද  හත් ඉලව්වේ කැඩිච්ච යන්ත්‍රයක් හදන්නේ කියන කාරනාව මුදලාලිට තේරුම් කරන භාෂාව ගොඩයා ඉගෙනගෙන තිබ්බේ නෑ. ඒත් මුදලාලිගේ ආයාචනය වෙන්නෙම අලුත් එකක් ලබන සතියේ ගන්න ඉන්න හින්දා මේක සතියකට ගොඩ දාල දීපන් රත්තරනේ කියන වගේ එකක්. ගොඩයා ඔව්ව හදන්න දන්නවා උනාට ඔය මුදලාලිගේ අවශ්‍යතාවය අනුව සතියකට, දවස් දෙකකට හදන සාස්තරයක් ගොඩයා ඉගෙනගෙන නෑ. මුදලාලි අත්දැකීමෙන් දන්නවා ගොඩයා වදෙන් පොරෙන් ඇදෙන ගිහිං හැදෙව්වොත් ආයේ යන්තරේ මාස හයක් දුවාගන්න පුළුවන් කියන කාරණය. මුදලාලි ගෙවීම් පැහැරහරින පුද්ගලයෙක් නොවුනට ගොඩයා ඔයාකාරයේ යන්තම් සන්තම් අටවන වැඩ වලට කැමැත්තක් නැති නිසා මුදලාලි කෝල් කරාට ගොඩයා නෙවෙයි එව්වට ආන්සර් කරන්නේ. ආන්න ඒ විදිහට කෝල් සීයක් දෙසීයක් දීලා බැරිම තැන තමයි මුදලාලි හොලා වගේ සෙනසුරාදා ඉරිදා වගේ සති අන්ත දවසක උදේ කුකුලා මල්ලේ දාගෙන ගොඩයාගේ නිවසේ ප්‍රධාන දොර ඉදිරියේ ප්‍රාදූර්භූත වෙන්නේ. එහෙම එන්නෙත් සෙල්ලම් වෙලාවල් වලට නෙවේ.. උදේ හයට, පහයි හතලිස් පහට වගේ සුපිරිම වෙලාවල් වලට. ඒ වෙලාවට ගෙදර දොරේ සීනුව ඇහිලා දොර අරින්නේ ගොඩයාගේ මව හෝ පියා නිසා මුදලාලි ඒ දුර්වලකමෙන් උපරීම ප්‍රයෝජනයක් ගත්ත. ඒකට පලවෙනි හේතුව තමා ගොඩයා ගෙදර නෑ කියන බොරුව කියන්න ගොඩයා ගේ වැඩිහිටියන් හතරවෙනි සිල්පදේ නොකඩන බව මුදලාලි හොඳින්ම දන්නා නිසා. ඒ වගේම දෙවැනි හේතුව තමයි ඒ වෙලාව  ගොඩයා මුදලාලි එනවා දැකලා ගෙදර පිටිපස්සේ දොරෙන් පැනලා දුවන්නේ නැති, ගොඩයා සැපෙන් නිදාගන්නා වෙලාව නිසා. තුන්වෙනි හේතුව තමයි ගොඩයා නිවසේ සැපෙන් නිදි වග මිදුලේ නවතා තිබෙන ගොඩයාගේ රථය එක් සාක්ෂියක් නිසා.

ඔන්න ඔය වගේ කසිප්පු පොලට පොලිසියෙන් පනින සැම්පලේට මුදලාලි ගොඩයාගේ නිවසට පැනලා ගොඩයාව අල්ලාගන්නා නිසා ගොඩයාට සිද්ද වෙනවා දවස ඇතුලත ගිහින් මුදලාලිගේ යන්තරේ ගොඩදාල දෙන්න. ගොඩයා එහෙම කරන්නේ හේතු තුනක්  නිසා. පළවෙනිම හේතුව එදා දවස ඇතුලත නොගියොත් පහුවදා උදේ නින්දත් මුදලාලි විසින් කුඩේ කුඩු කරලා දාන වග ටක්කෙටම දන්නා නිසා. දෙවැනි හේතුව ගෙදරටම හොයාගෙන ආපු මනුස්සයට බෑ කියන්න බැරි කමට. තුන්වෙනි හේතුව  තමයි  ව්‍යාපාරිකයෙක් විදිහට මුදල් අරපිරිමැස්ම සඳහා අමතරකොටස් වියදම අවම කලාට මුදලාලි හිත හොඳ මනුස්සයා නිසා. ඔන්න ඔය හේතුන් නිසා ගොඩයා ගෙදර තියෙන පරණ ඉවත්කළ යන්ත්‍ර සුන්බුන් අවුස්සලා අවශ්‍ය කරන වැඩක් ගන්න පුළුවන් පරණ කෑලි දෙකතුනකුත් හොයාගෙන  දවල් වෙලා ගිහින් මුදලාලිගේ යන්තරේ ගොඩ  දානවා.  ඒ වෙනකම් මුදලාලිගේ හිතේ තියෙන " ලබන සතියේ අලුත් එකක් ගන්නවා " කියන සිතුවිල්ල මුදලාලිට දවසින් දෙකෙන්ම අමතක වෙනවා ආයේ යන්තරේ ලෙඩක් දෙනකල්ම.

මුදලාලි ගැන හැඳින්වීම ගොඩක් දීර්ඝ උනාට  කොට කරලා ලියන්න යාමෙන් ගොඩයට අවශ්‍ය ආකාරයේ බ්ලොග් පොස්ටුව ලියවෙන්නේ නෑ. ඒ හින්ද ගොඩයාගේ සිරිත තමා කියවන්නාගේ හිතේ ප්‍රශ්නාර්ථ ඇති නොවෙනා ආකාරයෙන් වටපිටාව විස්තර කිරීම. 

ඔන්න ගොඩයා ගොඩයාගේ පාසල් මිත්‍ර අඹ යාලුවෙක් වෙන, සහ   බස් කිහිපයක හිමිකාර ව්‍යාපාරිකයෙක් හමුවෙලා ඔය කියන රූට් එක ගැනත් ආදායම ගැනත් අහනවා ගොඩයා බස් කර්මාන්තය ගැන පරතෙරටම නොදන්නා නිසා.  ඊළඟට ගොඩයා යනවා  යනවා මුදලාලි හම්බෙන්න රූට් පර්මිට් එක ගන්න හිතාගෙන, මුදලාලිගේ සහ ගොඩයාගේ සහසම්භන්ධය යන්ත්‍ර සූත්‍ර හරහා ඉතිහාසයට දිවගියාවූ එකක් නිසා මුදලාලි එකෙන්ම කැමති වෙනවා ගොඩයාට රූට් පර්මිට් එක දෙන්න. ඕන් එදාම තමා ගොඩයාට මේ පණිවුඩය ලබාදුන් අසල්වැසි මිත්‍රයා  ගොඩයාව හොයාගෙන නිවසට පැමිණෙන්නේ. ඔය කියන මිත්‍රයා තමා  මුදලාලිගේ ඔය රූට් එකේ දුවපු බස් එකේ කොන්දොස්තර. ගොඩයා එක්ක වැලි කෙලියේ හිටං එකට හිටපු ගමේ මිත්‍රයෙක් කිව්වොත් තමා නිවැරදි. ඔන්න ඊළඟ දෙබස මෙහෙමයි..

 උඹ ගියාද XXXX මුදලාලිව හම්බෙන්න..

ඔව් ගියා.. ඇයි මොකෝ කේස් එක..

උඹ විකුනපු බස් එකේ රූට් පර්මිට් එක ගන්නද හදන්නේ..

එහෙම තමයි බන් හිතන් ඉන්නේ... උඹ එනවනේ වැඩ කරන්න ?

මේ.........මං ......මේ.....

මොනවද මනුස්සයෝ ගොත ගහන්නේ... කියනදේ කියහන් කෙලින්..

මුදලාලි බස් එක විකුනන්න කලින් ඕකේ වැඩකරේ මමනේ බන්..

ඔව් ඉතින් උඹ කාලයක් ඉඳන් මුදලාලිගේ බස් එකේ වැඩ කරානේ..

මේ... මේ......

මොනාද බන් ගොත ගහන්නේ.. මං  ගත්තාම උඹ වැඩකරහන් ..  මං ඉතින් උඹට කියලා තියෙනවනේ මං බස්  ගෙනාවොත් උඹට වැඩ කරන්න දෙනවා කියල..

ඔව් බන් ඔව්... දැන් මේ....මේ....

උඹ මගෙන් දෙකක් අහන්නේ නැතුව හිතේ තියෙන දේ කෙලින් කියහන්..

නෑ බන්.. මමත් මේ කල්පනා කරේ පොඩි ණයක් එහෙමත් අරගෙන මුදලාලිගෙන් පර්මිට් එක අරගෙන බස් එකක් ගෙනැත් දුවන්න කියල....

ඉතින් බන් ඕක කියන්න ඔච්චර තටමන්න ඕනෙද..

නෑ බන් මම මුදලාලිගෙන් ඉල්ලුව.. මුදලාලි කිව්වා පර්මිට් එක උඹ ඉල්ලුව කියල.. කොහොමත් මුදලාලි පර්මිට් එක දෙනවනම් දෙන්නේ අපි දෙන්නේගෙන් කෙනෙකුට විතරයි කිව්වා.. එත් උඹ කලින් ඉල්ලපු නිසා උඹට දෙන්න  වෙනව කිව්වා..

ඕක අරන් දුවහන් එහෙනං ..මම මුදලාලිට කියන්නං උඹට දෙන්න කියල.. 

ෂුවර්?

අනිවාර්යෙන්... මං මුදලාලිට කෝල් එකක් දෙන්නං .. උඹ ගිහින් පර්මිට් එක අරං බස් එකක් අරන් දාපං .. හැබැයි පුතෝ උඹ මේක කරන්න ගිහිං පර්මිට් එක උඹටයි මටයි දෙන්නටම නැති කරන්න එපා..

එවකටත් රජයේ රැකියාවක සහ ව්‍යාපාරයක හිමිකරුවෙකු වශයෙන්,  අනෙකා ගැන නොසිතා මස් රාත්තලම ඉල්ලාසිටීම  ආචාරධර්ම වලට පටහැනි ක්‍රියාවක් නිසා,  අමාරුවෙන් නැගී හිටින්න වෙර දරන තරුණයෙකුට, උගේ රැකියා ක්ෂේත්‍රයේ ඉහලට යන්න තියෙන විරල අවස්තාවක් අහුරන එක සාධාරණ නැහැ කියන එක ගොඩයා දන්නවා. බස් රථය පාරට දැම්මානම් අපේක්ෂිත ආදායම සැලකියයුතු මුදලක් උනාට දරිද්‍රතාවයෙන් මිදෙන්න ක්‍රමයක් හොයන දුප්පත් කොල්ලෙකුගේ අවස්ථාව පැහැරගැනීම සාධාරණ නැහැ කියන මතයේ පිහිටා හිටං ගොඩයා පැහැදුණු හිතින් රූට් පර්මිට් එක ගමේ මිත්‍රයාට දෙන්න කියන පණිවුඩය මුදලාලි වෙත ලබා දෙනවා. ඒ සංවාදය මෙහෙමයි.. ඔන්න බලමුකෝ අඹ යාලුවන්ගේ හැටි..අඹ යාලුවා කිව්වේ ගොඩයාට නෙවෙයි.. පහල සංවාදය කියෙව්වම වැටහෙයි..


මුදලාලි මම  

හරි පුතා... මොකෝ වෙන්න ඕන... කවද්ද ගනුදෙනුව කෙරෙන්නේ..

මුදලාලි ඔය බස් එකේ වැඩකරපු කොන්දොස්තර පර්මිට් එක ඉල්ලුවද?

ඔව් මේ අද ඇවිත් ඉල්ලුව.. ඒත් ඉතින් ඔයානේ කලින් ඉල්ලුවේ..

ඔව් මුදලාලි.. ඔය කොල්ලා අපේ ගෙවල් ගාවනේ පදිංචිය.. පුංචි කාලෙ ඉඳන්ම යාළුවො.. ඉතින් මං කල්පනා කරේ ඕක එයාට දීලා දාන්න කියල.. ඌත් අමාරුවෙන් ඔලුව උස්සන එකානේ මුදලාලි..

ඔයා කියනවනම් මම මේක එයාට දෙන්නම්.. මේක මම කොහොමත් දෙනවනම් දෙන්නේ ඔය දෙන්නගෙන් කෙනෙකුට විතරයි.. 

බොහොම ස්තුතියි මුදලාලි එහෙම කියනවට..

ඒ උනාට පුතා ඔයාගේ යාළුවො නම් ඔයාගේ අහලකින්වත් තියන්න බෑ .. 

කොයි යාලුවා ගැනද මුදලාලි මේ කියන්නේ?

මම දන්නවා xxxx ඔයාගේ හොඳම යාලුවෙක් කියල..

ඉතිං ..

ඔයා මේ පර්මිට් එක ගැන මොනවහරි ඇහුවද එයාගෙන් ?


ඔව් මුදලාලි මම එයාගෙන් රූට් එක ගැන විස්තර ටිකක් ඇහුව තමයි..


මේ පර්මිට් එක විකුනනවා කියල දන්නේ ඔයයි ඔය බස් එකේ වැඩ කරපු ගෝලයයි විතරයි පුතා.. ඊයේ හවස ඔයාගේ යාලුවා xxxx ඇවිත් වැඩිපුර හැත්තෑපන්දාහක් දෙන්නං කියල පර්මිට් එක ඉල්ලුව.. මං කිව්වා දෙන්නේ දෙනවනම් ඔයාට විතරයි කියල.. මං හිතනවා එයා ඕක විකුනනවා කියලා දන්නේ ඔයාගෙන් ආරංචි වෙලා කියල...ඔන්න බලනවා ඔයාල බඩ බැඳගෙන ආස්සරේ කරන මිනිස්සුන්ගේ හැටි..

ඔව්ව ඔහොම තමයි මුදලාලි.. 

හා හා... මං  එහෙනම් මේක අපේ කොන්දොස්තර ගෝලයාටම දෙනවා එහෙනං ..


හා මුදලාලි.. 

ඔන්න මුදලාලිගේ සාදර අනුග්‍රහයෙන් අපේ ගමේ මිත්‍රයා ගෙනාව බස් රථයක්. මුදලාලිට ඔය විකුනපු පර්මිට් එක සල්ලි කාරයෙකුට වැඩි මිලට විකුනන්න පුළුවන්කම තියෙද්දිත් මුදලාලි පර්මිට් එක බොහොම අඩු මුදලකට තමුන්ගේම කොන්දොස්තරට දුන්න, යමක්කමක් උපයාගෙන හැදියන් කියන ප්‍රාර්ථනයෙන්. එහෙම මිනිස්සු අද සමාජයේ විරල නැද්ද හා.. එහෙම මිනිස්සුන්ට හොඳක්ම වෙන්න ඕන කියන එකයි ගොඩයාගේ ප්‍රාර්ථනය.

අපේ මිත්‍රයා ඉන් සති කීපයකට පස්සේ බස් රථයක් ගෙනාවට ඕක දකින්න වෙලාවක් කලාවක් ගොඩයාට ලැබුනේ නෑ. වැඩේ කියන්නේ ඒ වෙද්දී අපේ කොන්දොස්තර මිත්‍රයාට ෆුටාර් එකක් ඇරෙන්න එන්ජිමකින් ස්ටාර්ට් කරන රෝද හතරේ තියා දෙකේ එකක්වත් එහාට මෙහාට කරන්න දැනුමක් නෑ . කොටින්ම කියනවානම් ස්කූටර් එකක්වත් පදින්නේ කොහොමද කියලා ඌ දන්නේ නෑ..

 ඔන්න ඒ අතරේ සති අන්තයේ දවසක ගොඩයා ඇලට් එකක් දාගෙන ඉද්දි කව්දෝ ගෑනු පරානයක් ගොඩයාගේ නම කියලා මරහඬ දෙනවා ගොඩයාගේ ගේට්ටුව ගාව. ගොඩයා ගිහින් බැලුවා මොකාද බොල මේ කියල.. බැලින්නම් සතියකට වගේ කලින් බස් හිමියෙක් වෙච්ච අපේ කොන්දොස්තර මිත්‍රයාගේ අක්කණ්ඩි. ඔය කියන අක්කණ්ඩිත් ගොඩයාගේ මොන්ටිසෝරි ක්ලාස්මේට් කෙනෙක් කියමුකෝ.

මොකෝ..

අනේ  xxx  අන්න අරූ අර බස් මගුල පාරට අරං ඇවිත් අන්න අරෙහෙ ලයිට් කණුවයි තාප්පෙයි පෙරලන්න හදනවා.. අනේ පුලුවන්නම් බස් එක ගෙදරට රිවස් කරලා දෙන්නකෝ..


ඔන්න ගොඩයා ගේට්ටුවෙන් පාරට එබිලා බැලින්නං  ටොයෝටා ඩයිනා ක්ලිපර් බස් කොටයක් අතුරු පාරෙන් ප්‍රධාන පාරට දාන්න ගිහිං එලොවටත් මෙලොවටත් දෙකටම නැතුව හිරවෙලා කියහන්කෝ.. කොන්දොස්තර මිත්‍රයා රියදුරු අසුනට වෙලා විරිත්තගෙන ඉන්නවා ගලේ පහරපු බළලෙක් වගේ කර කියාගන්න දෙයක් නැතුව. ඒ අතරේ එංජිම රේස් කරන රේස් කිරිල්ලට මේ දැන් තාප්ප ලයිට් කණු පෙරලගෙන බස් කොටේ ඉගිලෙයිද කියලා හිතෙන තරම්. ඒ මදිවට අපේ කොන්දොස්තර මිත්‍රයාගේ ගෙදර සාමාජිකයින් බස් එක වටේ වටවෙලා භයෙන් භිරාන්ත වෙලා කෑ ගහනවා අරූට කන්වල ඇඟිලි ගහගන්න තරම් සද්දෙන්. අරුත් අරින්නේ නෑ.. ඒ කියන දේවල් බල්ලෙකුට අහගෙන ඉන්න බැරි එව්වා නිසා එව්වා ඌට නෑහෙන ගානට ඌ බස් එකේ එන්ජිමෙන් ගෙදර එවුන්ට සද්දේ දානව.


 බස් කොටේ හිරවෙලා තියන විදිහට රියදුරාගේ දොර අරින්න විදිහකුත් නෑ. ඔන්න ගොඩයා යනවා බස් කොටේ ගාවට. එහෙම වාහනයක් එලොවටත් මෙලොවටත් නැතුව හිර කරන්න සෑහෙන්න හැකියාවක් තියෙන්න ඕන නිසා ගොඩයා තීරණය කරනවා මූ එසේ මෙසේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි කියල. මොකද කියනවනම් ඩයිනා කොටේ එලියට ගන්න ක්‍රේන් එකක් ගේන්න ඕන සයිස් වැඩක්. දකුණු ඉස්සරහ මුල්ල තාප්පෙකට අඟලයි, දකුණු පිටිපස්සේ මුල්ල තුන්මං හන්දියේ පාරෙන් එහා පැත්තේ ගෙදර ගේට්ටුවට අඟල් හයයි, බස් එකේ දකුණු බඳ ලයිට් කණුවට අඟලයි කියමුකෝ. උස්සන් ගිහින් තිබ්බ වගේ ආයේ හෙලෙව්වොත් තාප්පේ, ගේට්ටුව හෝ ලයිට් කණුව බිමට පෙරලෙන සීන් එකක්. අපේ කොන්දොස්තර මිත්‍රයාගේ අක්කණ්ඩි බනිනවා අරූට බැනිල්ලක් ආයේ බල්ලෙකුට අහං ඉන්න බෑ. 

ඔන්න ගොඩයා ගිහින් බස් එකට ගොඩ වෙන්න කලින් බස් එක වටේ පොඩ්ඩක් ගිහින් විපරම් කළා. මොකද මිත්‍රයා බස් එකක් ගෙනාවා කිව්වට මේ බස් එක මොකක්ද කියල ගොඩයා දැක්කේ නෑ. හිටපු ගමන් උදේ පාන්දර ගල්මෝලක් ස්ටාර්ට් කරනවා වගේ සද්දේ ඇහුනට ගොඩයා හිතුවේ නෑ ඒ බස්කොන්දොස්තර මිත්‍රයා ගෙනාපු අලුත් බස් එකේ සද්දේ කියල. මිත්‍රයා අලුතෙන් ගෙනාපු ඩයිනකොටේ දැක්කාම ගොඩයාට දුකේ බෑ කියමුකෝ.. කොටින්ම කියනවනම් බස් එක ගහේ ඉදිලා වැටිච්ච වැල ගෙඩියක් වගේ යකඩෝ. වැඩි විස්තර කියනවනම් බොඩිය වටෙන්ම කෑලි එලියට පැනපු උගේ මුත්තාගේ මුත්තාටත් වඩා වයස හැඩයක් නැති ඩක්කුවක් වගේ වෙච්ච බස් කොටේ පාරේ දුවන්න තියා යකඩ වලටවත් විකුනන්න බැරි තරම් එකක්. කොටින්ම කියනවනම්  ඇස් නොපෙනෙන මනුස්සයෙක්වත් ඕක අතගාලා බැලුවොත් ගන්නේ නෑ මොකද ඌටත් අතට දැනෙනවා මේකනම් බස් නෙවෙයි හුඹස් එකක් කියන එක. එළියෙන් බැලුවාම හොඳයි කියලා කියන්න එක කෑල්ලක්වත් නෑ. ටයර් හයම රීබිල්ට් එව්වත් කට්ටයක් හොයාගන්න බැරි තරම් ගෙවිල කියහන්කෝ. ඉස්සරහ හෙඩ් ලයිට් දෙක හොඳා රෑට පොල් කඩන්න යන්න.. මොකද කියනවනම් ලයිට් දෙකම ඒම් වෙලා තියෙන්නේ හඳට. ඉස්සරහ සිග්නල් ලයිට් වලින් බල්බ් එලියට එල්ලෙනව. පිටිපස්සේ ලයිට්වල කවර තියා බල්බ්වත් නෑ. ඒ කියන්නේ සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්, රිවස් ලයිට් මොකක්වත් නෑ. සයිඩ් කන්නාඩි දෙක වෙනුවට මෝටර් සයිකල් සයිඩ් කන්නාඩි දෙකක්දෝ කොහේ අමාරුවෙන් එල්ලලා එව්වයේ ජාතකේ හොයන්නම නෑ. එංජිමේ සද්දේ ගල්මෝලකට වඩා ටිකක් සද්දෙයි වගේම එන්ජිමෙන් පිටවෙන දුම් ඔක්කොම සයිලන්සරේ කෙලවරට එන්න කලින් මග තියන හිල් වලින් එලියට එන හින්දදෝ කොහේ අරූ එක පාරක් රේස් කරාම සුදු දුම් වලාවකින් බස් එක නොපෙනී ගිහින් ටික වෙලාවකින් ආයේ මතු වෙනව. සුදු දුම් වලාකුලට වැහිච්ච ඩයිනකොටේ යාන්තමට දුම් වලාව ඇතුලෙන් මතුවෙනකොට පෙන්නේ හරියට දිව්‍ය විමානෙකින් බස් රාජයෙක් මහපොළොවට වැඩලා වගේ. 

ඔන්න ගොඩයා බස් එකට ගොඩ වෙලා අරුන්දව රියදුරු අසුනෙන් එලියට ඇදලා දාල වාඩිවුනා කියමුකෝ රියදුරු ආසනේ. අප්පට් සිරි වැඩේ එලියට වඩා ඇතුල දුක්ඛිතයි. බස් එකේ වාඩි වුනාම දැනෙන පලවෙනි භය තමයි බස් එක දෙදරන දෙදරිල්ලට කට ඇතුලේ අගේට තියන දත් තිස්දෙක ගැලවිලා බිම වැටෙයිදෝ කියන හැඟීම. සීට් ඔක්කොමත් ඉදිලා බිම වැටිච්ච වැල ගෙඩිය වගේම තමා. ඩෑෂ් බෝර්ඩ් එක බල්ලො කාල වගේ කෑලි නෑ. ඩෑෂ් එකේ ඉන්ඩිකේටර් එකක්වත් වැඩ නෑ. ඩීසල්, හීට්, ඇම්පියර් මීටර් වැඩ කරන්න විදිහක් ඇත්තෙම නෑ මොකද එව්වයෙ කටු ආගිය අතක් නෑ. ඩ්‍රයිවින් සීට් එක ගැන කියනවනං වෙනම චේදයක් ලියන්න වටිනා ඩ්‍රයිවින් සීට් එකක්. බස් සීට් එක වෙනුවට එතන තියෙන්නේ කාර් සීට් එකක් කියහන්කෝ. ඉතින් කියහන්කෝ කාර් එකේ වාඩිවෙලා ඉන්නවා වගේ සැපට ඇලවෙලා ඉඳගෙන බස් එකක් එලවන්නේ කොහොමද කියල. ඊටත් බස් එකක් කිව්වට ඒ වගේ හුඹසක් ?

ඔන්න ගොඩයා පැය භාගයක් විතර ඉස්සරහට පස්සට අරං ඩයිනාකොටේ හිරවෙලා තිබ්බ තැනින් එලියට අරගෙන ආපහු රිවස් කරගෙන ගිහින් මිත්‍රයාගේ ගෙදර මිදුලට දැම්ම. බස් කොටේ උන්දැගෙ මිදුලට තල්ලු කරලා එද්දී ගොඩයා කෝකටත් සිංහලෙන්ම කිව්වා "බුදු මහත්තයෝ ආයෙනම් උඹ මේක එලවන්න දඟලලා අහල පහල තාප්ප පෙරලන්න නම් එපා" කියල. ඒ කියල ගොඩයා ගෙදර එන්න හැරෙද්දී අපේ කොන්දොස්තර මිත්‍රයාගේ අක්ක ඇවිත් අරූගෙන් බස් එකේ යතුර උදුරාගෙන සිංහලෙන් කිව්ව " උඹ ආයේ මේක ස්ටාර්ට් කරොත් උඹේ අඬු කඩනවා මං " කියල. ඩයිනකොටේ රිවස් කරලා දීල ගෙදර එද්දී ගොඩයගේ අතපය හතර ගල් මෝලක වැඩකරා වගේ කියහන්කෝ. පවර් ස්ටියරින් නැති බස් කොටේ ඌ හිරකරලා තිබ්බ තැනින් එලියට ගන්න දඟලපු දැඟලිල්ලට කාලක් ගහලා වරුවක් නිදාගන්න තරම් ගොඩයාට අමාරුයි. පවර් ස්ටියරින් නැති බස් එකක් එක තැන හරවන්න තියෙන අමාරුව ගැන ඉතින් දන්නේ පවර් ස්ටියරින් නැති තඩි වාහන එලවපු එවුන්ම තමා. 

ඩයින කොටේ යාළුවගේ මිදුලට රිවස් කරලා දාල ගෙදර  එද්දී ආයෙත් පස්ස හැරීලා බස් කොටේ දිහා බලාපු ගොඩයාට හිතුනේ මේක හඳට යන්න හදපු බස් එකක්වත්දෝ කියල. මොකද එකේ මූනේ හයිකරලා තියෙන ලයිට්, ෂෙල්, බෆර් ඇතුළු සියලූම කෑලි බෑලි ඔක්කොම ඉන්නේ උඩ බලාගෙන. 

පොස්ට් එක ලියන්න ගියේ ඔය ඩයිනකොටේ  ගෙනාවයින් පස්සේ වෙච්ච සිද්දියක් ගැන උනත් ඩයිනකොටේ එතනට අවේ කොහොමද කියලා ලියාගෙන යද්දී පොස්ට් එක සෑහෙන්න දිග එකක් වෙලා නිසා අදාළ කතාව ඊළඟ කොටසෙන් කියනවා ඒත් එක්කම ඩයිනා කොටේ පෆෝමන්ස් ගැන සවිස්තරාත්මකව ලියවෙනවා ඊළඟ කොටසෙන්. ඊළඟ පොස්ට් එක සුවිශේෂී එකක්. ඒක ඊළඟ පෝස්ට් එකෙන් තමයි දැනගන්න වෙන්නේ. ඊළඟ පොස්ට් එකෙන් පස්සේ තමයි ඩයිනකොටේ ඉතුර කෑල්ල ලියවෙන්නේ.

එහා ගෙදර ඩයින කොටේ 2

http://ambalangodakatha.blogspot.com/2018/04/2.html

Monday, January 1, 2018

අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 02








අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 01 කොටස මෙතනින් 

ප්‍රින්සිපල් සර් ගොඩයාට තුන්වෙනි වතාවේ හමුවෙන්නේ උසස්පෙළ අවසන් වෙලා අගෝස්තු විභාගෙට මාසයක් වගේ තියෙද්දී. ඒ වෙද්දී ගොඩයා උන්නේ ගෙදර. පාඩම් කරන්න කියලා ගෙදර හිටියත් ඉතින් කෙරෙන පාඩමක් නම් නැති. ඔහොම ගෙදරට වෙලා හිටපු දවසක තමයි අපේ ගමයා කොටා එක්ක ගොඩයාව හොයන් ගෙදරට එන්නේ ඉස්කෝලේ ඇඳුමෙන්. 

ගමයා සහ කොටා කියන කතාවට අනුව අපිට වසරක් බාල එවුන් ටිකක් වටවෙලා ගමයාට සහ කොටාට නෙලලා කියහන්කෝ ඉස්කෝලෙදි. දැන් මේ ඩබල ගොඩයාව හොයාගෙන ඇවිත් තියෙන්නේ රිටර්න් එක දෙන්න. දැන් මේක කියවන උදවිය හිතන්න පුළුවන් අම්බලන්ගොඩයා කියන්නේ ඉස්කෝලේ හෙන පාතාල පොරක් කියලා. හෆොයි නෑ හත් ඉලව්වේ. ගොඩයා ඒ කාලේ පිම්බත් විසික් වෙන සයිස්. ඉතින් එහෙව් සයිස් එකෙක් එක්ක කොල්ලො විස්සකට විසිපහකට එරෙහිව ගේමක් ඉල්ලනවා කියන්නේ වැඩි වෙනසක් නැතුව දෙකට බෙදිච්ච ගුටි තුනට බෙදීලා වළඳන්න වෙන එක අහන්න දෙයක් නැති කතාවක්නේ. ඕනෙනම් කලින් දෙකට බෙදිච්ච ගුටි පූජාව ගොඩයා එකතුවුනාම තුනට බෙදෙයි එච්චරයි. ඊළඟට වෙන්නේ මාසයක් හමාරක් තෙල් බෙහෙත් ගාන්න. ගමයා සහ කොටා ඔය වෙලාවේ ගොඩයාව හොයාගෙන එන්නේ හේතු දෙකක් නිසා. පලවෙනි හේතුව තමා "සූර පප්පා" කාර්ටූන් එකෙක් රෝමන් කාරයින්ට ජිම් පප්පා ඇඩ්රස් නැතිවෙන්න නෙලුවාම උන් ගිහින් සීසර්ට කියනවනේ කට්ටියක් ඇවිල්ලා අපිට අම්බානෙකට නෙළුවා කියල. අන්න ඒ වගේ ගුටි කාපු හිතේ අමාරුව වෙන කියන්න එකෙක් නැති නිසා තමා කොටයි ගමයයි ගොඩයා හොයාගෙන එන්නේ.. දෙවැනි හේතුව තමයි රිටර්න් එකක් දෙනවානම් ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය කැඳවන්න සම්භන්ධීකරන කටයුතු කරන්න ජ්‍යාත්‍යන්තර සම්භන්ධකම් තියෙන්නේ ගොඩයාට පමණක් වීම. 


පිරිස් බලය වැඩි පිරිසකට ගේමක් ඉල්ලනවා කියන්නේ නැවකට කාලා සති දෙක තුනක් තුවාල වාට්ටුවේ ලගින්න වෙන වැඩක් නිසා කරන දෙයක් හරියට සැලසුම් කලයුතුයිනේ. මොකද ඥාති කෙනෙකුට වෙච්ච් අසාධාරනෙකදී  එහෙම ගේමක් ඉල්ලන්න ගිහින් දවස් දෙක තුනක් ඉස්පිරිතාලේ ලගින්නම කාපු අත්දැකීමක් ගොඩයාට ඒ වෙද්දීත් තිබ්බ. ඒත් අසාධාරණයට විරුද්දව නැගී හිටපු ගොඩයා විස්සක් තිහක් එක්ක ගේම ඉල්ලලා  අවසානයේ ගොඩයා එතනට ගිය අරමුණ ඉෂ්ඨ කරගෙන තමා ඉස්පිරිතාලේ ගියේ. ඔය කියන සිද්දියේදී ගොඩයා ආයේ ගෙදර එන්නේ මිනි පෙට්ටියේ කියල දැන දැනත් ආත්මාභිමානය වෙනුවෙන් ගොඩයා කඩු පොලු එක්ක නිරායුදව ගේම ඉල්ලලා වෙච්ච අසාධාරනේට දඬුවම එයාලට දුන්න. බෝනස් එක විදිහට දවස් තුන හතරක් බැන්ඩේජ් දාගෙන ඉස්පිරිතාලේ ඉන්නවුනාට කමක් නෑ ලෙඩා මලත් බඩ සුද්දයි නිසා.

ගමයාට සහ කොටාට ද්වේශ සහගතව පහර දීම සම්භන්ධයෙන් විසිපහක් විතර පිරිසකට ගේම ඉල්ලන්න විශේෂ කාර්ය බලකාය යුද්ධයට කැඳවන්නේ ගොඩයා විසින්. ගමයා කියනා ආකාරයෙන් කිසිම වරදක් නොකරපු අහිංසකයන් දෙදෙනෙකුට එහෙම පහරදෙන එක අසාධාරණයක් උනාට ගමයා සහ කොටා යනු හරහට අරං නාවන්න තරම් අහිංසක පොරවල් දෙකක් හෙම නෙවෙයි. ඒ වගේම ගමයා යනු බැලුවත් ගැහුවා කියනා වර්ගයේ එකෙක්. ඔය කියන විදිහට සිද්දිය වෙච්ච ස්ථානයේ හිටියයි කියන කොටාගේ සාක්ෂිය අනුව මොකක් හෝ සිදුවීමක් සිදුවී ඇති නිසා ගොඩයාගේ කැඳවීම මත විශේෂ කාර්ය බලකාය එකඟ වෙනවා පාසල ඇතුළු වී අදාළ පුද්ගලයින්ට නැවකට නෙලන්න. ඒ සම්මුතිය අනුව තමා අපේ තඩියා, බතලයා, ගයියා , ගමයා, කොටා, ගොඩයා ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන තාප්පෙන් පැනලා ඉස්කෝලෙට යන්නේ. මොකද කියනවනම් එදා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ගමයයි කොටයි විතරයි. දහතුන වසර වෙද්දී ඉස්කෝලෙන් භාගයක් එක්ක අපේ එවුන් වලි දාගෙන තිබ්බ එකේ එහෙම කාත් කව්රුවත් නැතුව ඉස්කෝලේ ගිය එක වැරදි නැද්ද හා.. කොහෙද ඉතින් මගුල් විසේනේ..


 උසස්පෙළ විභාගයට ඒ වෙද්දී තිබ්බේ මාසයක් වගේ කාලයක් නිසා අවසන් මහා සටනට සුපර් හීරෝස්ලා  හයදෙනෙක් ගේමට එන්ටර් වෙන්නේ ඔන්න ඔහොමයි. සුපර් හීරෝ කියල කිව්වට කොටා සහ ගොඩයා යනු තනියම අහුවුනොත් පුම්බලා උඩ යවන්න තරම් සයිස් එවුන් දෙන්නෙක් නිසා වැඩිපුර කෑමේ සම්භාවිතාවය තියෙන්නේ ගොඩයාට සහ කොටාට තමා. එහෙම කියල අපි යයි පස්සට..

තඩියා සහ බතලයා කැඳවන්න ගොඩයා මොටෝව පැදගෙන ඒ පැත්තට යද්දී මෙන්න බොලේ තඩියයි බතලයයි බසිකලයක් පැදගෙන ටවුන් එක දිහාවට එනවා කොහේදෝ රස්තියාදුවක යන්න. සිද්දිය දෙන්නටම සැලකරපු වහාම තඩියා බතලයාව දාගෙන ෆුටාර් එකෙන් ඉගිලෙන්නේ යුනිෆෝර්ම් එක ඇඳන් එන්න. ඊළඟට ගොඩයා යන්නේ ගයාන් හෙවත් අපේ ගයියා හොයාගෙන. ඒ වෙද්දී ගයියා මාස දෙක තුනකින් ඉස්කෝලේ පස් පාගලා නෑ කියමුකෝ. අයියලා දෙන්නෙක් සහ අක්කලා දෙනෙක්කුගේ සුවච කීකරු අහිංසක හුරතල් මලයා වෙන ගයියා සහ මිතුරු කැල විශ්වාසයට ගත හැකි ගනයේ එවුන් නොවෙනා නිසා ගයියගේ අයියා දාහක් ප්‍රශ්න වලට පිළිතුරු දීගෙන තමා අපේ ගයියාව ගෙදරින් එලියට ගන්නේ. බොරු හත්සිය පනහකුත් ටිකක් කියල එලියට පැනගත්තට ගයියාගේ අයියා දන්නවා කට්ටිය මහ දවාලේ හදිසියේ ඉස්කෝලේ යන්නේ අමතක වෙච්ච විෂය කරුණක් ඉගෙනගන්න නෙවෙයි විත්තිය.

ඔන්න ගයියාගේ සුදු ඇඳුමක් හොයාගෙන ඒක අයන් එහෙමත් කරගෙන ගයියාවත් දාගෙන ගොඩයා පැණි ගහ ගාවට එද්දී තඩියා සහ බතලයා යුනිෆෝර්ම් එකෙන් පැණි ගහ ගාවට වාර්තා කරලා ඉවරයි. ඊළඟට කට්ටිය එක්කම කරන්නේ කොලේජ් ලෙන් එකෙන් ගිහින් ඉස්කෝලේ ඇතුලට පනින එක. 




ඔන්න ඔය දුඹුරු පාට ලී ජනේලය අයිනේ තියන නිල්පාට කණුව ගාවින් තමයි ඉස්කෝලේ ඇතුලට පනින්න ලේසිම ස්ථානය. ඔය අලුතෙන් හදන ගොඩනැගිල්ල ඒ කාලේ ඔතන තිබ්බේ නෑ. ඔතන තිබේ කෙසෙල් පඳුරක්. තාප්පේ උඩින් ගහල තිබ්බ කම්බි පොටවල් යටින් රිංගලා කෙසෙල් පඳුර අතරින් පහල පනින්න විශේෂ ප්‍රාගුන්‍යය අත්‍යාවශ්‍යයි. ඔතනින් පහලට පනින්න ගිහින් තමයි අපේ රවියා වැරසැල් වෙලා පහලට වැටෙන්නේ " රවීගේ පැරිෂුට් පිම්ම" පොස්ට් එකේ .

ඊළඟට කට්ටිය ඉස්කෝලේ ඇතුලට පැනලා අහවර වෙලා කැඩෙට් රූම් එක පිටිපස්සට වෙලා බලාන ඉන්නේ විවේක කාලය සටහන් කරනකම්. කට්ටියගේ ප්ලෑන් එක ඉන්ටවල් බෙල් එක ගහල ගුරුවරුන් පහලට ආපු ගමන් පන්තියට  පැනලා පන්තියටම  නෙලන්න. 




මේ තියෙන්නේ කැඩෙට් රූම් එක. ඔතන තමා නිල වශයෙන් වලගහන්න කීකරු ශිෂ්‍යයින්ට ස්භාවධර්මයෙන් දීපු දායාදය. වටෙන්ම ආවරණය වෙලා තිබෙන නිසා ගුරුවරුන්ගේ ඇස ගැටීම අවමයි. අනාගතය වෙත තාප්පෙන් පියමනින්නන් ඔතන එහා පැත්ත තියන තාප්ප රාජයාගෙන් තමා නිදහස් ලෝකය වෙත ඉගිලෙන්නේ ඉස්කෝලේ වෙලාවට. ඒත් ඒ එලියට පනින තැන ඔය පින්තූරේ පෙන්නේ නෑ.  චායාරූපය බැක් ටු ස්කූල් ඉවෙන්ට් එකේ පිංතූර වලින් ගත්තේ අපේ තඩියා. ඒ නිසා අයිතිකරු කව්ද කියලා ගොඩයා නොදනී. පින්තූරය අයිතිකරුට ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ ස්ථානය නැවත පෙන්වා දුන්නාට.

ඉන්ටවල් බෙල් එක ගැහුවා කියමුකෝ. ඒ වෙද්දීත් කුලරත්න සෙවනට ලංවෙලා හිටපු සෙට් එක උඩ තට්ටුවට ගිහින් එක පාරටම 97 ආර්ට් පන්තියට ඇතුල්වුණා. 


අපේ ගමයා කොයි වෙලාවෙත් වැඩක් කරොත් නාගන්න පොර නිසා පන්තියට ඇතුල්වුණ ගමන් ලඟම හිටපු ගෑනු ළමයෙකුගේ ඩෙස්ක් එක උඩ තිබ්බ කුඩයක් අරං අහක යන රැඩ්ලිට දමල ඇරිය කියහන්කෝ. මුන්ට කලින් ගැහුවා කිව්ව නම් ලිස්ට් එකේ රැඩ්ලි හිටියේ නෑ. ඒත් ගමයා දමලා ඇරියේ ඒ අහිංසකයට. ඒ එක්කම කුලප්පුවුණු 97 ආර්ට් ක්ලාස් එකේ එවුන් ගමයා දිහාවට කඩාගෙන පැන්න. තත්පරයක් හරි ප්‍රමාද වීමෙන් ගමයා කුඩේ කුඩු වෙන්න ගුටි කන්න ඉඩ තියෙන නිසා ඒ එක්කම අපේ යෝද තඩියයි, බතලයයි, ගයියයි පිරිස මැද්දට කඩාගෙන පැනලා වටේටම නෙලන්න ගත්ත කියහන්කෝ. ගොඩයාට කොටාට ඇඩ්රස් නෑ.. තෝරු මෝරු මරාගන්න අස්සේ ගොඩයායි කොටයි වගේ හාල්මැස්සන්ට ඉඩක් තියෙන්න විදිහක් නෑනේ. තප්පරෙන් යුද පිටියක් වෙච්ච 97 ආර්ට් ක්ලාස් එකේ ගෑල්ලමයි ඒ එක්කම කුලරත්න සෙවනේ උළු සිවිලිමත් එක්කම තවුතිසාවටම විසික්වෙන්න කෑ ගහන්න පටන්ගත්ත කියමුකෝ. ඒ කෑගැහිල්ල කොයිතරම්ද කියනවනම් ඒ අවට පන්තිවල ඉන්න කෙලිච්චියෝ ටිකත් භයෙන් භිරාන්ත වෙලා බ්‍රහ්ම ලෝකෙටම ඇහෙන්න මොර හඬ දෙන්න තියාගත්තා. එක ගෑල්ලමයෙක් යටි ගිරියෙන් කෑ ගැසීම කොයිතරම් කන් කරච්චලයක්ද කියල දන්නා උදවිය නිකමට එක ගෑල්ලමයෙක් යටිගිරියෙන් X (වැඩිකිරීම ) පනහක් සීයක් වෙනකොට සද්දේ නිකමට උපකල්පනය කරලා බලන්නකෝ. අනිවාර්යෙන් මහා බ්‍රහ්මයත් ඒ උන්නාන්සේගේ  විමානෙන් පහලට එබීල බලන්න ඇති කව්ද හත් ඉලව්වේ මේ කෑ මොරදෙන ගෑනු සෙට් එක කියල. එහෙම කෑගැහිල්ලක් ගොඩයා නම් උපන්තේකට අහල නෑ.

 97 ආර්ට් ක්ලා ස් එකේ අතට අහුවෙන හැම එකාටම නැව් ගුටි නෙලපු ගමයා,තඩියා, බතලයා, ගයියා ඇතුළු අපි හයදෙනා ආර්ට් ක්ලාස් එකෙන් එලියට බහිද්දී පහල ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවර ගුරුවරියන් උඩට දුවගෙන එන්න පටන් අරං ඉවරයි. ඒ ගොඩනැගිල්ලේම පහල තියෙන ස්ටාෆ් රූම් එකේ ගුරුවරුන්ට අමතරව බාස්කට් බෝල් කෝට් එකෙන් එහාපැත්තෙ විදුහල්පති තුමා  ඉන්න ගොඩනැගිල්ලේ තියෙන ස්ටාෆ් රූම් එකේ ඉන්න ගුරුවරුත් ඒ වෙද්දී කුලරත්න සෙවන ඉහලට දුවගෙන එනව කෙලිච්චියොන්ගේ කෑගැහිල්ල කොයිතරම් භයානකද කියනවනම්. දොළහ වසර දහතුන වසර කුලරත්න සෙවනේ පහල තට්ටුවේ ඉන්න ළමයින්ගෙන් බහුතරයක්  ඒ වෙද්දීත් 97 ආර්ට් ක්ලාස් එක පැත්තට දුවනවා පණ කඩාගෙන. අපි හය දෙනා මොකුත් උනේ නෑ වගේ  කුලරත්න සෙවනේ පඩිපෙලෙන් පහලට බහිනවා සාන්ත දාන්ත තීන්ත කූඩු ගානට. මිෂන් එක ගහලා ඉවර උනාම විත්ද්‍රෝ වෙන එක සාමාන්‍ය සිරිතක්නේ. ගොඩයයි කොටයි වලිය මැද්දට පැන්නේ නැති නිසා අපේ ටීම් එකේ කැශුවලිටීස් නෑ. හැබැයි වැරදිලා හරි වලිය මැද්දට පැන්නනම් කොටාගෙයි ගොඩයාගෙයි කෑලි එකතු කරන්න රතු කුරුසෙන් ගෙන්නන්න වෙන එකනම් බුදු ෂුවර්.


මුළු ඉස්කෝලෙම 97 ආර්ට් ක්ලාස් එක දිහාවට දුවන අල්ලපනල්ලේ කාටවත් ඇලර්ට් වෙන්නේ නැතුව කුලරත්න සෙවනෙන් එලියට බහින අපි සෙට් එකට ඉස්සරහට හමුවෙන්නේ හීනෙන්වත් නොහිතපු  සුවිශේෂී අමුත්තෙක්. ඒ තමයි අපේ විදුහල්පති තැන්පත් ගොඩ්වින් සර්. කියන්ටකො ඉතින් කෙලිච්චියන්ගේ කෑ ගැහිල්ලේ තරම කොච්චර භයානක වෙන්ට ඇතිද කියල. නැත්තම් අහස උසට වැඩ කන්දරාවක් තියෙන අපේ විදුහල්පති තුමා ඔතනට එයිද අඩියට දෙකට.


මේ තියෙන්නේ කුලරත්න සෙවන. ඔය රතු ඊ තලෙන් පෙන්නපු තැන තමයි 97 ආර්ට් පන්තිය.(මතක විදිහට ). ඔය කොළ ඊ තලෙන් පෙන්නන තැන තමා උඩට නගින පඩිපෙළ තියෙන්නේ. එතැනදී තමා විදුහල්පතිතුමා අපේ සෙට් එකට මූණටම හමුවෙන්නේ. ඔය කොළ ඊ තලේ තියන පැත්තෙන්ම තමයි අපි කැඩෙට් රූම් එක පැත්තට මාරු වෙන්නේ. 


අපිට ඉතින් ඔය ලොකු ලොකු සම්මාන කොට නැතිවුනාට ලොකු ලොකු චිත්‍රපටිවල රඟපාලා නැතිවුනාට පොඩි ගේමක් ගොඩදාගන්න රඟපාන්න අමුතුවෙන් උගන්වන්න ඕන නැති නිසා අපිත් හෙන කයියක් ගහගෙන ප්‍රින්සිපල් සර්ව දැක්කා නොදැක්කා ගානට මග ඇරලා කැන්ටිම පත්තට හැරුනා කියමුකෝ. ඒ කියන්නේ අපි හැරෙන්නේ ඔය කොළ ඊ තලෙන් පෙන්නපු දිශාවට. 

පාසල් පැමිණි මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ඨවුන නිසා ඊළඟට තිබෙන්නේ දනිපනිගා පාසලෙන් ඉවතට පැනගැනීම උනාට කකුල ඉක්මන් කරොත් අනවශ්‍ය අවධානයක් හිමිවෙන්න පුළුවන්. ඒ ගැනත් හිතන ගමන්  අපි හයදෙනා බොහොම කූල් වෝක් එකකින් කුලරත්න සෙවනෙන් කැඩෙට් කාමරේ දිහාවට ඇවිදන් යන්නේ මේ හෙන කාලෙකින් හම්බෙච්ච යාළුවො සෙට් එකක්  හෙන පරණ කතාවක් මතක් වෙච්ච ගානට කයියක් දාගෙන.. ඒ වෙද්දී කන්ටිමේ හිටපු ගුරුවරුත් කුලරත්න සෙවනේ කෙලිච්චියොන්ගේ කෑගැහිල්ලට ඉහලට දුවගෙන එන්න පටන් අරං ඉවරයි. මිෂන් එක සක්සස් වෙන්න නම් කැෂුවලිටීස් නැතුව ගෙනාපු අතපය හතර පරෙස්සම් කරගෙන ගෙවල් වලට පැනගැනීම අනිවාර්යයි. ඒත් ඊළඟ උද්ගත වෙච්ච ප්‍රශ්නේ ඒ එකක්වත් නෙවෙයි පින්වතුනි. මිෂන් එක ප්ලෑන් කරද්දී හිතුවේ නැති ප්‍රශනයක් හදිසියේ උද්ගත වෙලා.  



අපේ ප්‍රින්සිපල් සර්ට වැඩේ ටිකක් අවුල්. මොකද කියනවනම් ඉහල මාලයේ කෙල්ලන් සීයක් දෙසීයක් ඒ වෙද්දීත් බ්‍රහ්ම ලෝකෙටම ඇහෙන්න යටිගිරියෙන් කෑ ගැසීමත් ගුරුවරුන් ඇතුළු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ දෙසට දුවගෙන යාමත් ඒ හැමටම සමගාමීව නැව ගිලුනත් බෑන් චූන් ගානට හයදෙනෙක් විතරක් එතනින් විරුද්ධ දිශාවට මාරුවී යාමත් අවුල් නැද්ද හත් ඉලව්වේ. ඒ සා අත්දැකීම් සමුදායක් තියෙන විදුහල්පති කෙනෙකුට මුන් හයදෙනා මේ මාරුවෙන්නේ මොකක් නමුත් මගෝඩි අලුගුත්තේරු වැඩක් කරලා කියලා හිතෙන එක අහම්බයක් වෙන්න බැහැනේ. 

අවුරුදු වලින් බර ගානක් පාසලේ විදුහල්පති වෙච්ච ගොඩ්වින් සර්ගේ ගට් ඉන්ස්ටින්ග්ස් කොයිතරම් ඇකියුරේට්ද කියනවනම් මුළු ඉස්කෝලෙම කුලරත්න සෙවනේ උඩ තට්ටුවේ 97 ආර්ට් ක්ලාස් එක දිහාවට දුවද්දී ප්‍රින්සිපල් සර් විතරක් එයාගේ ගමනේ දිශා ආනතිය වෙනස් කරලා අපි හයදෙනා පස්සෙන් එනව කියහන්කෝ . ඒක හරියට වයිල්ඩ් කාර්ඩ් එකෙන් ෆයිනල් රවුන්ඩ් තේරිලා චැම්පියන් වෙන්න ලැබෙන චාන්ස් එක තරම් විරල චාන්ස් එකක් උනාට අපේ විදුහල්පති තුමා තීරණය කරලා වයිල්ඩ් කාර්ඩ් එකෙන් ෆයිනල් රවුන්ඩ් යන අවදානම ගන්න.


(මේ ඉන්නේ අපේ කාලේ හිටපු විදුහල්පති ගරු ගොඩ්වින් ද සිල්වා මැතිතුමා. මෙතුමා දැන් විශ්‍රාමිකයි. මේ බැල්ම දැක්කාම අදත් නිකං කකුල් දෙක පන නැතිවෙන ගතියක් තියෙනව වගේ. මේ පින්තූරේ එව්වේ අපේ තඩියා බැක්ටු ස්කූල් පින්තුර වලින් අරගෙන. පීරියඩ් එකක් එහෙම කට් කරලා කොහේ හරි දිරාමාරුවෙන්න යන එකෙක් මේ දර්ශනය දකිනවා කියන්නේ ඇඟ කිලිපොලා යන සීන් කෝන් එකක්. බැක්ටු ස්කූල් ඉවෙන්ට් එක වෙලාවේ මේ පින්තූරේ ගතපු කෙනාට අම්බලන්ගොඩගේ බලවත් ස්තූතිය ප්‍රකාශ කරනවා.)

ඔහොම නවතිනවා.. එහෙම තමා විදිහල්පති තුමා එතුමාගේ හඬ අවදි කලේ.

ම්හ්.. අපි හයදෙනා අපිට නෙවෙයි ගානට කැඩෙට් කාමරේ පැත්තට යනවා.. ඒ අස්සේ ඇහෙන නෑහෙන ගානට තඩියා ..කියනවා . ඔහොම යමු.... ඔහොම යමු... පස්ස බලන්න එපා... පස්ස බලන්න එපා...

වෙලාව විවේක කාලය නිසා කාලයේ වාසිය අපිට වෙච්චි අපේ උත්සාහය ඉස්කෝලේ පුරා දුව පනින කොල්ලෝ කුරුට්ටෝ අතරින් කවලම් වෙලා ප්‍රින්සිපල් සර්ගේ ඇහැට වැලි ගහල මාරු වෙලා තාප්පෙ උඩට නැගල ස්ටාර් ගේට් එකෙන්  අනාගතය වෙත ඉගිලෙන්න. එත් ලොකු මිෂන් එකක් ගහලා ආපහු එන සුපර් හීරෝස්ලා හයදෙනෙක් බහිනකොට කොල්ලෝ කුරුට්ටෝ ඒ අවටින් ඉවත්වීම ස්භාවිකයිනේ. සාමාන්යෙන් චිත්‍රපටිවල සිද්දවෙන්නේ එහෙමනේ. සුපර්  හීරෝස්ලා ගේම ගහලා එන දර්ශනය ස්ලෝව් මෝෂන් පෙන්නනකොට අවට ඉන්න ජනතාව භයෙන් බිරාන්ත වෙලා පස්සෙන් පස්සට ගිහින් කාණුවල වැටිලා තාප්ප වලට හේත්තු වෙලා ඉඩ දෙනවනේ. මේ සිද්දියත් කැමරා කරානම් එහෙම වෙන්න තිබ්බට අහල පහල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ පස්ස නොබලා දුවන්නේ සුපර් හීරෝස්ලාට භයේ නෙවෙයි හත් ඉලව්වේ සුපර් හීරෝස්ලා පස්සෙන් එන විදුහල්පතිතුමාට බයේ. මොකද උන් දන්නවා විවේක කාලය වෙලාවේ විදුහල්පති තුමා කැඩෙට් කාමරේ පැත්තට යන්නේ ඒ තරම් හොඳ දෙයකට නෙවෙයි කියන  එක.  පොඩි එවුන් උනත් උනුත් අම්බලන්ගොඩ කොල්ලෝ නිසා උන් දන්නවා ඒ වගේ කාලගුණ තත්වයන් යටතේ අනුන්ගේ පරිප්පු නැවක් බාන්නට ස්වීප් එකක් ඇදෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම ඉහල අගයක්  කියන කාරණය. ඒ සියල්ලම අතරේ අපි හයදෙනා බොහොම කූල් වෝක් එකකින් කැඩෙට් කාමරේ පැත්තට මංගච්චනව. 

ඔය ළමයි හයදෙනා ඔහොම නවතිනවා...

ම්හ්.. අපි අපිට නෙවෙයි වගේ තවදුරටත් ගමනේ...

ඔය ලකීගේ පුතා ඔහොම නවතිනවා..

ඒ කියන්නේ ප්‍රින්සිපල් සර් අපේ තඩියාව අඳුරගෙන.. තඩියගේ මූණ ඇඹුල් උනා වැඩේ නෑව කියල දැනුනාම.. ඉස්කොලෙටම හිටියේ තඩියගේ සයිස් දෙතුන්දෙනයි නිසා කකුලේ පුංචි ඇඟිල්ල විතරක් දැක්කත් තඩියාව අඳුනාගනීම  දන්නා කියන කෙනෙකුට සිම්පල්. ඊට අමතරව කියනවනම් තඩියාගේ පියාණන් ආදීශිෂ්‍ය සංගමයේ නිලයක් හොබවන නිසා ගොඩ්වින් සර්ට තඩියාව පවුලේ කෙනෙක් ගානට මතකයි. ඒ වෙද්දී තඩියා ඉස්කෝලේ පිහිනුම් කණ්ඩායමේ කැප්ටන් නිසාත් ගොඩ්වින් සර්ට තඩියාව හොඳින්ම දන්නවා. ඊටත් අමතරව අපේ තඩියාගේ මෑණියන් අපේ ඉස්කෝලෙම ගුරුවරියක්. ඉතින් මදිද කියහන්කෝ.. ඒ වගේ අයිඩෙන්ටි එකක් තියන එකෙක්ව මේ වගේ මිෂන් එකකට ගෙනාපු එක ගැන පසුතැවිලි වෙමින් අපි නෑහුනා ගානට ගමනේ. ආයෙත් ප්‍රින්සිපල් සර් හඬ අවදි කරා..

ගයාන්.. කිව්වම අහලා නවතිනවා..

ඒ කියන්නේ ප්‍රින්සිපල් සර් තවත් සැකකරුවෙක් හඳුනාගෙන හමාරයි පිටිපස්සෙන්ම.. ගයාන් ඒ වෙද්දී ඉස්කෝලේ ෆස්ට් ඉලවන් ක්‍රිකට් ටීම් එක කීප වතාවක් නියෝජනය කරපු දක්ෂ බැට්ස්මන් කෙනෙක්. ඉතින් ප්‍රින්සිපල් සර්ට අපේ ගයියාව අමුත්තෙක් නෙවෙයි. ගයාන්ගේ අයියලා දෙන්නම ඉස්කෝලේ දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් නිසා ගයියගේ පවුලේ බොහොමයක් දෙනා ප්‍රින්සිපල් සර් දන්නවා. 

හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්නේ නැතුවම ප්‍රින්සිපල් සර් සැකකරුවන් දෙදෙනෙකු සාර්ථකව හඳුනාගෙන අවසන්. ගොඩයාත් ඒ කාලේ සමිති සමාගම් කිහියක් රන් කරපු එකෙක් නිසා මූණ දැක්කොත් ගොඩයාවත් ප්‍රින්සිපල් සර් හඳුනා ගැනීමට නියමිතයි. බතලයාත් ඒ වෙද්දී ෆස්ට් ඉලවන් ක්‍රිකට් ටීම් එකේ සාමාජිකයෙක් නිසා මූණ දැක්කොත් බතලයාවත් හඳුනාගැනීමට නියමිතයිලු. 

ප්‍රින්සිපල් සරුත් අපේ පස්සෙන් එන අල්ලපනල්ලේ අපිත් කැඩෙට් කාමරේ දිහාවට ටිකක් විතර පය ඉක්මන් කරා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඉස්කෝලෙන් එලියට පනින උසින් අඩුම තාප්ප කෑල්ල තියෙන්නේ කැඩෙට් කාමරේ එහාපැත්තෙ හින්ද. ඒත් ඒ වෙද්දීත් එතන කටු කම්බි පොටවල් හතරකුත් තාප්පෙට උඩින් ගහලා තිබ්බ නිසා ඔය කියන තරම් ලේසියෙන් ඉක්මනින් පහසුවෙන් තාප්පෙන් පනින්න බෑ . පනිනවානම් පනින්න ඕන සීරුවට තාප්පෙට ගොඩවෙලා කම්බි පොට යටින් රිංගලා ඉවරවෙලයි. 

ප්‍රින්සිපල් සර් අපේ පස්සෙන් එන එකේ ගැලවීමක් නැතිබව දැනගත්තු ගමයා තමා තාප්පේ දිහාවට ඉස්සෙල්ලම දුවන්න ගත්තේ. මොන වැඩක් කරත් කොතන ගියත් ගමයා කියන්නේ ඌත් හොඳහැටි නාගෙන අපිවත් ඇතිවෙන්න නාවන්න දක්ෂතාවයක් තියෙන එකේ.  ඒ එක්කම කොටත් දුවන්න ගත්තා කියහන්කෝ. ආයේ ඉතින් ඇඩ්රස් නැතිවෙන්නම යන නිසා ඊළඟට අනික් හතර දෙනාත් දුවන්න ගත්ත තාප්පේ දිහාවට. 

ඔහොම නවතිනවා... කිව්වම අහල ඔහොම නවතිනවා... ප්‍රිසිපල් සර් කෑ ගහනව සැක කටයුතු පුද්ගලයින් හයදෙනා ඉස්කෝලේ ඇතුලේ නවත්වාගන්න අරමුණෙන්. එලියට පැනගත්තොත් මුන් හයදෙනාගේ වලිගෙවත් අල්ලන්න බැරිබව ප්‍රින්සිපල් සර් එකෙන්ම දන්නවා.

කොහේ නැවතිල්ලක්ද දෙයියෝ.. නැවතුනොත් ගෙදර යන්න වෙන්නේ සියලු නඩු විභාග අවසන් වෙලා වේවැල් පාර කාපු පස්ස පැත්ත අතේ අරං කියන එක අමුතුවෙන් පහදන්න දෙයක් නෑ . ඒ වගේම අවසන් මහා සටනට කැඳවු එස් එෆ් භටයින් තුන්දෙනා ඉස්කෝලෙන් එලියට පනිද්දී අපි ඉස්කෝලේ ඇතුලේ ඉන්නවා කියන්නේ පහුවදාම අවසාන කටයුතු කරන්න වෙන කනගාටුදායක කතාවක්.  ඊට අමතරව හතරදෙනෙකුගේ නම් ඉදිරියෙන්  නාමලේඛනවල එදා දිනේට වැටිලා තියෙන්නේ බිංදුව වෙච්චි. ඒ වගේ තත්වයක් යටතේ මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටියක ලඟපාලා ප්‍රින්සිපල් සර්ගේ අතටම අහුවෙනවා කියන්නේ කසිප්පු බූලියයි, ගොඩා බැරල් එකයි, කසිප්පු කාරයයි තුනම එක පාරටම පොලිසියට අහුවුනා වගේ වැඩක්. 


මොහොතකට කලින් කුඩු වෙන්න නෙලලා ආපු පන්තියේ එවුන්ට තනියම අහුවුනොත් ඉතින් ආයේ ගෙදර යන්න වෙන්නේ අත පය හතරේම සුදු මේස් දාගෙන පොලිෂ් කරපු පෙට්ටියක කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඊට හොඳයි පාරේ යන  පොලිස් ජීප් එකකට ගලකින් ගහල මමයි සර් ගැහුවේ කියල අත උස්සලා පිළිගන්න එක.. ඒ කතාව කෙසේ වෙතත් ගමයා දුවන්නේ කැඩෙට් කාමරේ ඉස්සරහම තාප්පේ දිහාවට. සාමාන්‍ය ඉස්කෝලේ දවසට ෂෝර්ට් ලීව් හෝ හාෆ් ඩේ දාල ගෙදර යද්දී තාප්පෙන් පනින්නේ එතනින් නෙවෙයි. එත් ඒ පනින තැනින් එකා පස්සේ එකා පනිද්දී මුල් එකා ඇරුනාම අනික් පස්දෙනාම ප්‍රින්සිපල් සර් කනෙන් ඇදගෙන ඔෆිස් එකට අරන් එනවා කියන එක සක්සුදක් සේ පැහැදිලියි. ඒ නිසා ගමයා දුවන්නේ එකපාරට ඔක්කොටම තාප්පෙන් පනින්න පුළුවන් තැනක් ඉලක්ක කරගෙන. ඒත් ප්‍රශ්නය තියෙන්නේ එතන තියන තාප්පේ අඩි දහයක් විතර  උසයි කියහන්කෝ. 

ලෝක බාස්කට් බෝල් ශුරයා ආවත් උඩ පැනලා එල්ලෙන්න බැරි තරම් උස තාප්පේ ගමයා දුවගෙන ගිය වේගෙන්ම එල්ලුනා. ගයියා, තඩියා, බතලයා තුන්දෙනාත් බොහොම සාර්ථ ආකාරයෙන් තාප්පේ උඩ එල්ලිලා තාප්පේ මුදුනට බඩ ගෑව. තාප්පේ දිහාවට අනික් එවුන් එක්ක දුවගෙන ගියාට අඩි පහයි අඟල් හතරක් උස ගොඩයාටයි, ඒ උසම තියන කොටාටයි තාප්පේ එල්ලෙන එක හීනයක් විතරයි. පස්සෙන් එලවාගෙන එන ප්‍රින්සිපල් සර්ගේ අතට හසුවීම නැවකට දඬුවම් විඳින්න සිද්ද වෙනවා අනිවාර්යයි. ඊට අමතරව මොහොතකට කලින් වටකරගෙන නෙලපු පංතියේ  කොල්ලන්ට හසුවීමෙන් ඇට කුඩු වෙන්න ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙන්න ඇදෙන ස්වීප් එකක්. ඒත් ගොඩයාට සහ කොටාට තාප්පෙන් පනින්න බැරිබව දැනුන අපේ ගයියා ආපහු ඉස්කෝලේ පැත්තට පැනලා ගොඩයාවයි කොටාවයි බාස්කට් බෝල රින්ග් එකට විසික් කරන්න වගේ තාප්පේ උඩට විසික් කරා කියහන්කෝ. තඩියා තාප්පේ උඩ ඉඳගෙන කොට ඩබලව උඩට ඇදලා අරගෙන ගයියාවත් උඩට ඇදලා ගත්ත. ඉන් පස්සේ ඉතින් විද්‍යාල මාවතේ පොලොව සිපගන්න හයදෙනාටම තත්පරයක් ගියේ නෑ.



ඔන්න ඔතනින් තමයි අපේ ටීම් එක ඉස්කෝලෙන් එලියට පනින්නේ. පේනවනේ උස. වෑන් එකේ වහලේ ඉඳගෙනත් අඩි හයකට වඩා උසයි. ඔය වගේ තැනකින් ඉහලට නැගලා පහලට පනින්න තරම් අපි, ප්‍රින්සිපල් සර්ට කොහොම භයක් තියෙන්න ඇත්ද. ඔය එහා පැත්තෙන් තියන ගේට්ටුව ඒ කාලේ ඔතන තිබ්බේ නෑ.. මේ පින්තූරය  සහ පහලින්  තියෙන පිංතූර ගත්තේ ගූගල් පුන්චාව ඔය පාරේ තකහනියේ ඇවිද්දවල.

 ප්‍රින්සිපල් සර් ඊටපස්සේ තොපිට මම දෙන්නම්කො කියල හිතාගෙන ආපහු හැරිලා යන්න ඇති. දැන් මේක කියවන උදවිය හිතයි ප්‍රින්සිපල් සර්ගේ රෝල් එක මේ පොස්ට් එකන් ඉවරයි වෙන්න ඇති කියල.. නෑ පින්වතුන් නෑ .. ආයෙත් ප්‍රින්සිපල් සර් ගේමට එන්ටර් වෙනවා පොස්ට් එකේ අගදී.



අවසන් මහා සටනේ ඇඟ කිලිපොලා යන කතාන්දරේ එතැනින්  ඉවරයි. ඊළඟට තිබ්බේ ඉස්කෝලේ අරිනකම් ඉඳලා අවසන් මහා සටනේ සොල්දාදුවන් පාසල් තාප්ප රාජයා තරණය කෙරුවයින් පස්සේ මොකද උනේ කියල දැනගැනීම වෙනුවෙන් ආරක්ෂාකාරී ස්ථානයක රැඳී සිටීම විතරයි. හිතුවේ නැති ආකාරයේ පරිසර තත්වයක් උද්ගත වෙච්ච නිසා රිසාල්ට් එක දැනගැනීම අත්‍යාවශ්‍යයි. හතරදෙනා නිදහස් ආරයෙන් නෙලපු නෙලිල්ලට කුමනාකාර රිටර්න් එකක් ලැබෙයිදෝ කියන සිතුවිල්ලත් තිබ්බේ නැත්තේම නෑ. ඒත් අපේ ගයියටයි තඩියාටයි නම් මෙලෝ කල්ලිතාවක්  තිබ්බේ නෑ ඒ ගැන. උන් දෙන්නට නම් තිබ්බේ කාලෙකින් අතේ පයේ හිරි ඇරෙන්න කාටහෝ හිතේ කැත යන්න නෙලාගතපු සන්තෝසේ විතරයි.


අපි සෙට් එක දැන් නැවතිලා ඉන්නේ කරත්ත කන්ද පන්සලට ටිකක් එහායින්. හරියටම කියනවනම් සැනසුම ග්‍රොසරියේ ගෙදර ගේට්ටුව ඉස්සරහ. කට්ටියම ගහපු ගැහිල්ල ගැන නැවකට කයිය කියමුකෝ. ගමයාගේ ඉහේ මලක් පිපුනා හා සමානයි. 



ඔන්න ඔතන තමා අපි ඉන්නේ. ඔය ඈතින් පෙන්නේ රේල් පාර. රේල් පාර පැනලා දකුණට ගියාම තමයි ඉස්කෝලේ තියෙන්නේ. 

දැන් කට්ටිය ගහපු මිෂන් එක ගැන ලොරි ටෝක් දීගෙන ඉන්න අතරේ ඉස්කෝලේ ඇරෙන වෙලාවත් ලංවුනා කියමුකෝ. ඒත් ඉස්කෝලේ අරින්න විනාඩි දහයක් වගේ තියෙද්දී රේල් පාර හරහා දාන වාහනයක් දිහාවට අපේ අවධානය යොමුවුනා. හත් ඉලව්වේ ඒ වෙන මොකක්වත් නෙවෙයි ඉස්කෝලේ හයිඒස් වෑන් එක. ඉස්සරහ සීට් එකේ ඉන්නේ විදුහල්පති තැන්පත් ගොඩ්වින් සර්. ඇතුලේ ඉන්නේ අපි ඉස්කෝලෙට පැනලා නෙලපු පන්තියේ ළමයි කීප දෙනෙක්.

දර්ශනයෙන් කලබල වෙච්ච අපි හය දෙනා ඔලුව හැරුන අතේ දුවන්න හදලත් හැමෝටම එකපාරටම තීරණය කළා වගේ එතන තියන කැලේ පොඩි පට්ටම් කරගෙන රේල් පාර දිහාවට දුවන්න තියාගත්තා. හයදෙනාගෙන් පස්දෙනෙක් සාර්ථක වනාන්තර තරණයකින් අනතුරුව නිරූපද්‍රිතව රේල් පාරට ගොඩවුනා කියමුකෝ. ඉන් පස්සේ පස්දෙනාම රේල් පාර දිගේ කොළඹ දිහාවට දුවන්න ගත්තේ රුහුණු කුමාරිය කොළඹ යනවට වඩා වේගෙන්. ඒ අතරේ අපේ කොටා ක්‍ෂණිකව අදහස වෙනස් කරලා රේල් පාරෙන් දකුණට විතැන් වෙලා සැනසුම ග්‍රොසරියෙ ගේ දිහාවට පල්ලම් බැස්ස. ගොඩයත් කොටා පස්සෙම එළවන්  සැනසුම ග්‍රොසරියෙ ගේ දිහාවට දිව්වා. මෙන්න බොලේ කොටා එකපාරටම සැනසුම ග්‍රොසරියෙ ගෙදර පිටිපස්සේ තියන කක්කුස්සියට ඇතුල්වුණා කියහන්කෝ. ගොඩයා කෑ ගැහුවා බුදු කොටෝ මා එනකං හිටහන් කියල. මොන.. ඌ අහයි එව්වා.. ඌ  කරේ කක්කුසියට වෙලා දොර ඇතුලෙන් ලොක්කරගත්තු එක. ඊළඟට ආයෙත් ගොඩයා අනාතයි. හත වසරේ හිටං දහතුන වසර වෙනකම් තිබ්බ කොටාගෙයි ගොඩයාගෙයි අකලංක මිතුරු ප්‍රේමයට කොටා ද්වේශ සහගතව කක්කුස්සියේ දොර වහගෙන බූට් එක තිබ්බ නිසා ඒ හිත් අමාරුව පැත්තකින් තියලා ගොඩයා ආයෙත් රේල් පාරට ගොඩ වෙනවා දුවගන්න අතක් හොයාගන්න බැරුව. ඒ අතරේ තමයි මිෂන් එකේ කූටප්‍රාප්තිය ගොඩයා ඇහින් සජීවීව  දකින්නේ. 

ඒ වෙද්දීත් විදුහල්පතිතුමා වාහනේ නවත්තලා කෑ ගහනව ඔහොම නවතිනවා.. ඔහොම නවතිනවා කියාගෙන.. මොන. අපි අහයි එව්වා.. ගොඩයා ආයෙත් රේල් පාරට ගොඩ වෙලා කෑගැහුවා බුදු ගයියෝ මාවත් අරං පලෝ කියල.. රුහුණු කුමාරියටත් වඩා වේගෙන් කොළඹ පැත්තට දුවපු ගයියයි තඩියයි ගොඩයා කෑ ගහනව ඇහිලා ආපහු දුවන් ඇවිත් ගොඩයාගේ අත් දෙකෙන් ඇදගෙන දුවන්න තියාගත්තා කියහන්කෝ. අන්න දිවිලි.. උන්ට වැඩක් නෑ ගොඩයා දුවගෙන එනවද නැද්ද කියනේක. උන්ට වැදගත් වෙන්නේ ගොඩයා උන් එක්ක එනවද නැද්ද කියන එක විතරයි. උන් දුවන දිවිල්ලට ගොඩයාට සිල්පර උඩ දුවන්න බෑ. ඒ හින්ද ඉතින් උන් දෙන්න දුවන්නේ ගොඩයාව සිල්පර උඩ බිම දිගේ ඇදගෙන. මොන කරන්නද දෙයියෝ ඉතින් ගොඩයත් පුළුවන් ට්‍රයි එකක් දුන්නට වැඩි හරියක් යන්නේ හොම්බෙන්. වංගුවෙන් නොපෙනී ගිහින් කොලේජ් ලේන් එකට මතුවෙනකම් ගයියයි තඩියයි ගොඩයාව ඇදගෙන දුවල නවතිනකොට ගොඩයාගේ කකුල් දෙකේ තිබ්බේ මේස් දෙක විතරයි. ඒකත් කකුල් දෙකෙන් පනින්න ඔන්න මෙන්න.



ඔන්න ඔතනින් තමා රේල් පාර දිගේ දුවන්න පටන් ගත්තේ. ඔය දකුණු පැත්තේ තියෙන පොල්ගහට එහායින් තියන කැලෑව පොඩි කරගෙන තමයි කට්ටියම රේල් පාරට අවතීරණය වෙන්නෙ. 

දැන් ඔය රේල් පාර දිගේ දුවපු කට්ටිය ගණන් උනේ පස් දෙනයිනේ.  එතකොට කෝ ඉතුරු එකා..??? ඒ  තමා අවසන් මහා සටනේ කූටප්‍රාප්තිය සටහන් කරපු සටන් කැඳවුම් කරු හෙවත් අපේ වීරෝධාර ගමයා. 

උන්දෑ ඉතින් කවදාවත් වැඩිය ඩීටෙල් ඔරියන්ටඩ් පොරක් නෙවෙයිනේ. ඒ නිසා අපේ ගමයා වාහනයක් උනත් අඳුරන්නේ වෑන් , කාර් , බස් වගේ පොදු නම් වලින් විතරයි. අහවල් වර්ගයේ අහවල් ජාතියේ වාහයක් කිව්වට අපේ ගමයා ඔව්ව වැඩිය දන්නේ නෑ. ඊටත් අමතරව ඔය දුවපා.....න් වගේ වචනයක් ඇහුනාම අපේ ගමයා කොයි දිසාවටද දුවන්නේ ? අපි කුමක් සඳහාද දුවන්නේ? ඇයි අපි දුවන්නේ ? වගේ ප්‍රශ්න අහලා අපිව වෙහෙසට පත්කරන එකෙක් නෙවෙයි. දුවපා......න් කිව්වා ගමන් අපේ ගමයාගේ සිරිත තමා ඔලුව හැරුන අතකට විදින එක..අපි හයදෙනා කැලේ පොඩි කරගෙන රේල් පාර දිහාවට දුවලා රේල් පාරට ගොඩ වෙලා බැලින්නම් මෙන්න බොලේ අපේ ගමයා දුවනවා එලෝ මෙලෝ නැතුව ඉස්කෝලේ වෑන් එක එන දිහාවට පාර දිගේ. මූ වගේ අන්ද මන්ද ගොන් මැට්ටෙක් එක්ක මේ වගේ අනතුරුදායක ගමනක් ගිහිපු අපි පස්දෙනාට මඩු වලිගෙන් තලන්න ඕන නැද්ද හා..

ඉස්කෝලේ වාහනේ ගමයා ඉස්සරහා නවත්තලා අපේ විදුහල්පති තුමා වාහනෙන් බැස්සාම තමයි අපේ ගමයා දැක්කේ හත් ඉලව්වේ  මං දුවලා තියෙන්නේ වෑන් එක එන දිහාවට නේද යකඩෝ කියල. වටේපිටේ ගැන කල්ලිතාවයක් නැතුව වෑන් එක දිහාට දුවගෙන යන ගමන් හදිසියේම වාහනෙන් බහින ප්‍රින්සිපල් සර් දැකපු ගමයා කකුල් දෙකේ තියන ඒ.බී.එස්, එස්. ආර්.එස්, එමර්ජන්සි බ්‍රේක්, හෑන්ඩ් බ්‍රේක් එනම් මනම් ඔක්කොම තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා විදුහල්පති තුමාගේ කන ගාවින් නාවනවා නැවිලක් දකුණට කනේ වැලි ගෑවෙන්න කියහන්කෝ. ආයේ ඉතින් එහෙම නැවිල්ලක් නවන්න බැලේ ඩාන්සර් කෙනෙකුටවත් බැරුව ඇති මයේ හිතේ . නවපු වේගෙන්ම රේල් පාර හරහා පිකප් කරන අපේ ගමරාල රේල් පාරෙන් එහා ඉස්කෝලේ පැත්තේ තියෙන හබරල ගාලෙන් නොපෙනී යනවා තමුන්ගේ දිවිල්ලේ උපරීම වේගය සාක්ෂාත් කරමින්. ගමයා කියන්නේ ඕනෑම නයි පොළොංගු ඉන්න මූකලානක පය තියන්න රැයක් දවාලක් නැති එකා නිසා මෑන්ස් හබරල ගාලේ නොපෙනී ගිය එක ගැන නම් ගොඩයාට එවෙලේ කිසිම ගැටළුවක් තිබ්බේ නෑ. මොකද අපේ ගමයා කියන්නේ අවදානම කියන එක ගැන මෙලෝ ගානක් තියෙන එකෙක් නෙවෙයි කුඩා එකා සන්දියේ හිටන්ම.



ඔය රේල් පාරෙන් වම් පැත්තේ දැන් තියෙන ඉස්කෝලේ පැසිපන්දු පිටිය තියන තැන ඉඳන් ඉන් එහායින් තියන ස්විමින් පූල් එකටත් එහාට ඒ කාලේ තිබ්බේ තනිකර මඩ වගුරක්. ඔය කියන වගුරේ ඉතින් හිටියේ නැත්තම් නොහිටියේ අලි කෝටි වලස්සු ඩයිනෝසර් වගේ සත්තු විතරයි. නයි පොළොංගු නම් ඕනෑතරම් ඉන්න ඇති.  හරි දැන් ඔක්කොම ගැන විශේෂණ ලියවුනාට කෝ එතකොට බතලයා ?

අප්පට සිරි ඔය ඔක්කොම දේ සිද්දවෙන අල්ලපනල්ලේ රේල්පාර දිගේ කොළඹ දිහාවට විදපු බතලයා ඒ වෙද්දී  අලුත්ගමත් පහුකරලා තියෙන්න ඇති මයේ හිතේ. මොකද බතලයත් හෙන දිවිලි සූරයා බතලේට හිටියට.

හබරල ගාල හරහා ඕෆ් රෝඩ් ටුවර් එකක් ගිය ගමයා කවදා කොතනින් මතුවුනාද කියලනම් ගොඩයා දන්නේ නෑ. ඒත් ඉතින් මේ හදිසියේ හබරල ගස්, කටු කොහිල වැල් පෙරලාගෙන මඩ වගුර හරහා උසේන් බෝල්ට්ටත් වඩා හයියෙන් එකෙක් දුවගෙන එනවා දැක්කාම නයි පොළොංගුත් ඉතින් ජීවිතේ  බේරගන්න පණ කඩාගෙන කොහෙහරි දුවන්න ඇති මයේ හිතේ. කොටා ඉතින් සැනසුම ග්‍රොසරියේ ගෙදර පිටිපස්සේ තියන කක්කුස්සියෙන් කවදා එලියට ආවාද කියලා ගොඩයා අද වෙනකොටත් දන්නේ නෑ. ඌ කක්කුස්සියේ දොර වහගත්තු තාලෙට මං හිතන්නේ නෑ සැනසුම ග්‍රොසරියෙ ගෙදර අයිතිකාරයා ආවත් ඌ දොරනම් අරියි කියල. 

අවසන් සටනේ පශ්චාත් නඩු විභාග ආදිය ගැන කමෙන්ට් වලින් විස්තර කරනම්කො.. එව්වත් ලියන්න ගියොත් මේ පොස්ට් එක හැතක්මක් විතර දික් වෙනවනේ. අපේ ආදරණීය විදුහල්පති තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායු වේවා  කියල ප්‍රාර්ථනා කරනවා මේ උදාවූ නව වසරේ.




කමෙන්ට් එකක් දාගෙන යමු..